යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා ඊයේ (02) දිනය පුරා අඛණ්ඩව ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ. කාර්කිව් නගරාධිපති ඉහෝර් ටෙරෙකොව් (Ihor Terekhov) ටෙලිග්‍රෑම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ නගරයේ දිස්ත්‍රික්ක හතරකට මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි. අවම වශයෙන් ඩ්‍රෝන යානා 20ක් පමණ නගරයට පතිත වී ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාර හේතුවෙන් අට හැවිරිදි දැරියක ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, නේවාසික ගොඩනැගිලි රැසකට ගිනි ඇවිලීමෙන් බරපතල හානි සිදුව ඇත. නගරයේ මහල් නිවාසවල ගෘහ භාණ්ඩ සහ බිත්ති කුඩු පට්ටම් වී ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව සපොරීෂියා (Zaporizhzhia) ප්‍රදේශයේ මහල් නිවාසයකට ද රුසියානු ප්‍රහාර එල්ල වී ඇති නමුත් එහිදී ජීවිත හානි වාර්තා වී නොමැත.
මේ අතර, යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියාවේ බෙල්ගොරොඩ් (Belgorod) කලාපයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව රුසියානු බලධාරීන් පවසයි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, රුසියානු – යුක්රේන ගැටුම ද තවදුරටත් දරුණු අතට හැරෙමින් පවතින බව මෙම වාර්තා සනාථ කරයි.
















