යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) මහතා ප්‍රකාශ කර ඇත්තේ තමා ඉදිරිපත් කළ පාස්කු සටන් විරාම යෝජනාවට රුසියාව පිළිතුරු දී ඇත්තේ ඊයේ (01) එල්ල කළ ගුවන් ප්‍රහාර මගින් බවයි. කෙසේ වෙතත්, යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකානු මැදිහත්කරුවන් සමඟ පැවැති සාකච්ඡා “සුබවාදී” (Positive) බව ඔහු අවධාරණය කළේය.
ජනාධිපති සෙලෙන්ස්කි ඊයේ (01) ඇමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff), ජැරඩ් කුෂ්නර් (Jared Kushner) සහ සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් (Lindsey Graham) සමඟ දුරස්ථව සාකච්ඡා පැවැත්වීය. නේටෝ (NATO) මහලේකම් මාර්ක් රූට් (Mark Rutte) ද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර, අනාගත සාම ගිවිසුමක් සඳහා ඇමෙරිකාව ලබා දෙන ආරක්ෂක සහතික (Security guarantees) ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම මෙහිදී එකඟ වී තිබේ. මෙය යුද්ධය විශ්වාසදායක ලෙස අවසන් කිරීමට මාවත පාදනු ඇති බව සෙලෙන්ස්කි විශ්වාසය පළ කරයි.
පසුගිය පෙබරවාරි මාසයේදී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසුව වොෂින්ටනයේ ප්‍රමුඛතාවය යුක්රේනයෙන් බැහැර වී ඇති බව පෙනෙන්නට තිබේ. යුද්ධය ඉක්මනින් අවසන් කිරීම සඳහා යම් සහන ලබා දෙන ලෙස ඇමෙරිකාව යුක්රේනයට බලපෑම් කරමින් සිටින බවට ද වාර්තා වේ. වසර හතරක් පුරා පවතින මෙම ගැටුම දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ ඇති වූ දරුණුතම ලේ වැගිරීම ලෙස සැලකෙන අතර, එය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
















