අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්ව ඇති අතර, දෙපාර්ශවයම “යහපත් චේතනාවෙන්” යුතුව මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා අවධාරණය කරයි. මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩූජරික් මහතා සඳහන් කළේ, කලාපීය නොසන්සුන්තාව සමනය කරමින් ස්ථාවර සහ විස්තීර්ණ එකඟතාවයකට පැමිණීමට මෙම රාජ්‍යතාන්ත්‍රික අවස්ථාව භාවිතා කරන ලෙස මහලේකම්වරයා පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි.
ජාත්‍යන්තර ආරවුල් විසඳීම සඳහා සාමකාමී විසඳුම් හැර වෙනත් විකල්පයක් නොමැති බවත්, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සහ ජාත්‍යන්තර නීතියට අනුකූල විය යුතු බවත් මහලේකම්වරයා මෙහිදී පෙන්වා දී තිබේ. පවතින සතුරුකම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා මෙම සාකච්ඡා ඉතා වැදගත් වන අතර, සාම ප්‍රයත්නයන්ට සහය වීම සඳහා මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතයෙකු ද මේ වන විට අදාළ කලාපය වෙත පිටත් කර හැර ඇති බව වාර්තා වේ.
ඉරාන නියෝජිතයන් සහ අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු දූත පිරිස අතර පාකිස්තානයේදී පැවැත්වෙන මෙම හමුව, ලෝක සාමය කෙරෙහි බලපාන තීරණාත්මක සාධකයක් වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.














