‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් දැඩි ලෙස හානියට පත් වූ නානුඔය සහ අඹේවෙල අතර උඩරට දුම්රිය මාර්ගය යළි විවෘත කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් මේ දිනවල අඛණ්ඩව ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වෙති. නායයෑම් සහ පස් කඩා වැටීම් හේතුවෙන් මාර්ගයේ බොහෝ ස්ථාන විනාශ වී පැවති අතර, සීමිත සම්පත් ප්‍රමාණයක් භාවිත කරමින් සේවකයන් විසින් එම බාධා ඉවත් කර මාර්ගය යථාවත් කිරීමට දැඩි වෙහෙසක් දරනු දක්නට ලැබේ.
මෙම මාර්ග කොටස කඩිනමින් පිළිසකර කරගතහොත්, දැනට නානුඔය දුම්රිය ස්ථානයේ සිරවී පවතින දුම්රිය එන්ජින් කිහිපය භාවිත කරමින් නානුඔය සහ බදුල්ල අතර අතිරේක දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට හැකි බව දුම්රිය බලධාරීහු පෙන්වා දෙති. මෙය උඩරට සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ට මෙන්ම සාමාන්‍ය මගී ජනතාවට ද විශාල සහනයක් වනු ඇත.
විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් නානුඔය සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය වැඩි කිරීම දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි. පවතින දුෂ්කරතා මධ්‍යයේ වුවද, ඉතා කෙටි කලක් තුළ මෙම මාර්ගය ධාවනයට සුදුසු මට්ටමට ගෙන ඒමට සේවක පිරිස් කටයුතු කරමින් සිටිති.














