ඉරානයේ ඉස්ෆහන් නුවර පිහිටි ප්‍රබල සන්නද්ධ පතොරම් ගබඩාවක් සහ න්‍යෂ්ටික යටිතල පහසුකම්වලට සම්බන්ධ මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකානු ගුවන් හමුදාව කිලෝග්‍රෑම් 1,000ක් (රාත්තල් 2,000) බරැති දැවැන්ත “බන්කර් බස්ටර්” බෝම්බ ප්‍රහාරයක් අද (31) උදෑසන එල්ල කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන යුද්ධය අවසන් කිරීමට සූදානම් බවට ඉඟි පළ කර පැය කිහිපයක් ඇතුළත මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි.
වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) පුවත්පතට අදහස් දැක්වූ ඇමෙරිකානු නිලධාරියෙකු සඳහන් කළේ පොළොව යට පිහිටි ශක්තිමත් ආරක්ෂිත මධ්‍යස්ථාන විනාශ කළ හැකි විශේෂිත බෝම්බ (Penetrator Munitions) විශාල ප්‍රමාණයක් මෙම මෙහෙයුම සඳහා භාවිතා කර ඇති බවයි. ජනාධිපති ට්‍රම්ප් විසින් ද මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශන සිය Truth Social ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇති අතර, එහි අහස සිසාරා සිදුවන ප්‍රබල පිපිරීම් සහ විශාල දුමාරයක් දැකගත හැකිය.
ඉස්ෆහන් නගරය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට අදාළ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන බැවින් මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය යුදමය තත්ත්වය තවදුරටත් උණුසුම් වී තිබේ. ප්‍රහාරයෙන් පසු ඇතිවූ ද්විතීයික පිපිරීම් මඟින් එහි ගබඩා කර තිබූ අවි ආයුධ විශාල වශයෙන් විනාශ වී ඇති බව ද වාර්තා වේ.














