අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය හමුවේ, ඊශ්‍රායලයේ තෙල් අවිව් (Tel Aviv) නුවර සිට සජීවී පුවත් විකාශයක නිරත වෙමින් සිටි CNN පුවත් සේවයේ ප්‍රධාන නිවේදිකා එරින් බර්නෙට් (Erin Burnett) හට ගුවන් ප්‍රහාරක සිරින් නාද වීමත් සමඟ සජීවී විකාශය අතරතුරදීම ආරක්ෂිත ස්ථානයක් කරා යාමට සිදුවිය.
49 හැවිරිදි එරින් බර්නෙට් තෙල් අවිව් නුවර සිට බිම් මට්ටමේ පවතින තත්ත්වය වාර්තා කරමින් සිටියදී, ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හේතුවෙන් මුළු නගරය පුරාම අනතුරු ඇඟවීමේ සිරින් නාද වීමට පටන් ගත්තේය. ඒ සමඟම ඇය ඇතුළු රූපවාහිනී කණ්ඩායමට වහාම ආරක්ෂිත බංකරයක් කරා පසුබැසීමට සිදුවූ අතර, එම දර්ශන සජීවීව ලොව පුරා ප්‍රචාරය විය.
පසුගිය සති අන්තයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත එල්ල වූ ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අලි කමේනි ඝාතනය වීමෙන් පසු ඉරානය සිය ප්‍රතිප්‍රහාර දැඩි කර තිබේ. මෙයට අමතරව සෞදි අරාබියේ ඇරම්කෝ (Aramco) තෙල් පිරිපහදුවට ද නැවත ප්‍රහාර එල්ල වී ඇති අතර, කටාර් රාජ්‍යය විසින් ඉරාන ඩ්‍රෝන යානා 10ක් සහ මිසයිල 2ක් සිය ගුවන් සීමාවේදී විනාශ කර ඇති බව ද වාර්තා වේ.
ඉරානය විසින් ‘සියලු රතු ඉරි’ ඉක්මවා ගොස් ඇති බවට ගල්ෆ් කලාපයේ රටවල් අනතුරු අඟවන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ද ඉරානයට එරෙහිව සිය ප්‍රතිප්‍රහාර (Counterstrikes) දියත් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව දැන් ලෝක අවධානය යොමුව පවතී.














