මැදපෙරදිග කලාපය පුරා උද්ගතව ඇති බරපතල ආරක්ෂක අවදානම හමුවේ බහරේනය, ඊජිප්තුව, ඉරානය, ඉරාකය සහ ඊශ්‍රායලය ඇතුළු රටවල් රැසක සිටින තම පුරවැසියන්ට වහාම එම රටවලින් පිටවන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හදිසි නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දැනට පවතින වාණිජ ප්‍රවාහන සේවා භාවිත කරමින් හැකි ඉක්මනින් ආරක්ෂිතව ඉවත් වන ලෙස දන්වා ඇති අතර, සහාය අවශ්‍ය අය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක ද හඳුන්වා දී තිබීම විශේෂත්වයක්. ඉරානය විසින් අමෙරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර මාලාවත්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නෞකාවලට එල්ල වී ඇති තර්ජනයත් නිසා මුළු මැදපෙරදිග කලාපයම දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. රියාද් නුවර අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති අතර, මෙය ලෝක වෙළඳපොළට සහ කලාපීය සාමයට කෙසේ බලපානු ඇත්දැයි ලෝකයම අවධානයෙන් පසුවනවා.
















