ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමක, අමෙරිකානු සේනාංක ඉරානය තුළ ස්ථාපනය කිරීම පිළිබඳව පවතින අවිනිශ්චිතතාවය පිළිබඳව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) අද (31) විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය. පෙන්ටගනයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ අමෙරිකාවේ යුදෝපායෙහි ප්‍රධානතම ලක්ෂණය වන්නේ “අනාවැකි කිව නොහැකි ලෙස ක්‍රියා කිරීම” (Be unpredictable) බවයි.
ආරක්ෂක ලේකම්වරයාගේ මෙම ප්‍රකාශය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්ථාවරය තවදුරටත් තහවුරු කරන්නකි. ජනාධිපති ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තමා ඉරානයට භට පිරිස් යැවීමට අකමැති වුවද, යම් හෙයකින් එවැනි පියවරක් ගන්නේ නම් ඒ පිළිබඳව කිසිවෙකුටත් කලින් දැනුම් නොදෙන බවයි. ටෙහෙරානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ‘Operation Epic Fury’ මෙහෙයුම පිළිබඳව අදහස් දක්වමින් හෙග්සෙත් මහතා පැවසුවේ, සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට නොපැමිණෙන්නේ නම් තවත් සති හතරත් අටත් අතර කාලයක් මෙම මෙහෙයුම අඛණ්ඩව දියත් කිරීමට වොෂින්ටනය සූදානම් බවයි.
ගැටුම් අවසන් කිරීම සඳහා වන සාකච්ඡා මේ වන විට සාර්ථක වෙමින් පවතින බවත්, කෙසේ වෙතත් අමෙරිකාව මෙම යුද්ධය අවසන් කිරීමට අපේක්ෂා කරන්නේ “ජනාධිපති ට්‍රම්ප් සහ අමෙරිකාවට වාසිදායක කොන්දේසි මත පමණක්” බවත් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය. මැදපෙරදිග කලාපයේ පවතින මෙම යුදමය තත්ත්වය හමුවේ අමෙරිකාවේ මීළඟ පියවර කුමක්ද යන්න පිළිබඳව මුළු ලෝකයේම අවධානය මේ වන විට යොමුව තිබේ.














