හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ටැංකි ප්‍රවාහනය සඳහා එක්සත් ජනපද නාවික යාත්‍රා යෙදවිය හැකි බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය ඉරානය විසින් දැඩි ලෙස අභියෝගයට ලක් කර තිබේ. ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රකාශකයෙකු විසින් මෙම අභියෝගය සිදු කර ඇති බවයි.
පසුගිය අඟහරුවාදා ප්‍රකාශයක් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ අවශ්‍ය නම් එක්සත් ජනපද නාවික හමුදාවට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ටැංකි ආරක්ෂිතව රැගෙන යාමේ කටයුතු ආරම්භ කළ හැකි බවයි. ඉරාන පාර්ශවයෙන් මෙම පිළිතුර ලැබී ඇත්තේ එම ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙනි.
දැනට පවතින මැද පෙරදිග ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ලෝක බලශක්ති සැපයුමට අතිශය වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන නැව්ගත කිරීම් සහ බලශක්ති අපනයන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ නතර වී තිබේ. මෙම තත්ත්වය හමුවේ ඇමරිකානු මැදිහත්වීම පිළිබඳව දෙපාර්ශවය අතර පවතින වාචික ගැටුම කලාපීය නොසන්සුන්තාව තවදුරටත් වර්ධනය වීමට හේතු වී ඇත.














