පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැති ඇමරිකා – ඉරාන තීරණාත්මක සාම සාකච්ඡා කිසිදු නිල එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) නිල වශයෙන් ප්‍රකාශ කළේය. දින කිහිපයක් පුරා පැවැති මෙම සාකච්ඡා වටය අවසානයේ අදහස් දක්වමින් උප ජනාධිපතිවරයා සඳහන් කළේ ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ලද සාම කොන්දේසි සහ යෝජනා පිළි නොගැනීමට ඉරාන නියෝජිත පිරිස තීරණය කර ඇති බවයි.
දෙපාර්ශවය අතර පවතින ගැටලු නිරාකරණය කරගනිමින් කලාපීය සාමය තහවුරු කිරීමට ඇමරිකාව උත්සාහ කළද, ඇමරිකාව ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු භාර නොගැනීමට ඉරානය තෝරා ගැනීම කනගාටුදායක බව ඔහු පවසා තිබේ. විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සහ ලෙබනනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වූ එකඟතා මෙහිදී බිඳ වැටී ඇති බව වාර්තා වේ. මෙම සාකච්ඡා අසාර්ථක වීම ඇමරිකාවට වඩා ඉරානයට අවාසිදායක සහ අතිශය නරක පුවතක් වනු ඇති බවට ද ජේ.ඩී. වෑන්ස් මෙහිදී දැඩි අනතුරු ඇඟවීමක් සිදු කළේය.
මෙම සාකච්ඡා බිඳ වැටීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් මතුව ඇත. ඊශ්‍රායලය දැනටමත් පවසා ඇත්තේ වොෂින්ටන්-ටෙහෙරාන් සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට එරෙහි ප්‍රහාර යළිත් ආරම්භ කිරීමට තමන් සූදානම් බවයි. ජේ.ඩී. වෑන්ස්ගේ මෙම ප්‍රකාශයත් සමඟ ගෝලීය බලශක්ති වෙළඳපොළ සහ කොටස් වෙළඳපොළ තුළ ද යම් කැළඹීමක් ඇති වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පුරෝකථනය කරති.














