ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ඇමෙරිකානු සබ්මැරීන් ප්‍රහාරයකින් විනාශ වූ ‘අයිරිස් ඩේනා’ (Iris Dena) ඉරාන යුද නෞකාවේ සහ දැනට සොයාගෙන ඇති අනෙක් ඉරාන නෞකාවේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටී. විශේෂයෙන්ම, මෙම නෞකා ත්‍රිකුණාමල වරායට රැගෙන ඒම සහ මුදාගත් නාවිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර නීතිමය තත්ත්වය අධ්‍යයනය කිරීමට රජය මේ වන විට ජ්‍යෙෂ්ඨ නීතිඥ කණ්ඩායමක් යොදවා ඇත.
ඉරාන නෞකා දෙකෙන් බේරාගත් නාවිකයන් 282ක් (අයිරිස් ඩේනා නෞකාවේ 32ක් සහ අනෙක් නෞකාවේ 250ක්) මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටින අතර, ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සැපයීම රජයට විශාල අභියෝගයක් වී තිබේ. පාර්ශව දෙකක් අතර යුදමය තත්ත්වයක් පවතින මෙවන් මොහොතක, ශ්‍රී ලංකාව මැදිහත් වී සිටින්නේ හුදෙක් මානුෂීය වගකීමක් ඉටු කිරීමට බව විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් පෙන්වා දී ඇත.
මෙම අර්බුදය හමුවේ මෙරට පිහිටි විදේශීය තානාපති කාර්යාල සහ නිල නිවාස 85කට විශේෂ ආරක්ෂාවක් සපයා ඇති අතර, නාවික සහ ගුවන් හමුදා එක්ව මුහුදු කලාපයේ විශේෂ නිරීක්ෂණ මෙහෙයුම් ද ආරම්භ කර තිබේ. ඉරාන තානාපතිවරයා ද මේ සම්බන්ධයෙන් රජයේ සහ විපක්ෂයේ දේශපාලනඥයන් සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් සිටියි.














