ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති ප්‍රහාර හුදු දේශපාලනික ගැටුමකට එහා ගිය “ආගමික යුද්ධයක්” (Holy War) ලෙස හුවා දැක්වීමට එම රටවල නායකයන් උත්සාහ කරමින් සිටින බව අල්-ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ඇමරිකානු හමුදා භටයන්ට පවා මෙම යුද්ධය බයිබලයේ සඳහන් “අර්මගෙදොන්” (Armageddon) හෙවත් ලෝක විනාශයේ ආරම්භය සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යළි පැමිණීම සනිටුහන් කරන්නක් බව පෙන්වා දී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙය ඉතා භයානක සහ මුස්ලිම් විරෝධී ප්‍රවණතාවක් බවට මානව හිමිකම් සංවිධාන අනතුරු අඟවයි.
ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ඉරාන පාලනය “ඉස්ලාමීය අනාවැකිමය මුළාවන්” (Prophetic Islamic delusions) ලෙස හඳුන්වා ඇති අතර, ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ඉරානය බයිබලයේ සඳහන් යුද සතුරන් වන “අමලෙක්වරුන්ට” (Amalekites) සමාන කරමින් යුද්ධය සාධාරණීකරණය කර තිබේ. විද්වතුන් පෙන්වා දෙන්නේ සංකීර්ණ භූ-දේශපාලනික අර්බුදයක් මෙලෙස ආගමික රාමුවක සිර කිරීම තුළින් සාම සාකච්ඡා සඳහා පවතින අවස්ථා අහුරා දමන බවයි. විශේෂයෙන්ම ඇමරිකාවේ වෙසෙන ක්‍රිස්තියානි සියොන්වාදීන්ගේ (Christian Zionists) සහාය ලබාගැනීම සඳහා ට්‍රම්ප් පරිපාලනය මෙම ආගමික භාෂාව සූක්ෂම ලෙස භාවිත කරමින් සිටින බව පෙනී යයි.














