අමෙරිකානු රැකියා වෙළඳපොළ දැඩි අර්බුදයකට ලක් කරමින් පසුගිය පෙබරවාරි මාසය තුළ එරට ආර්ථිකයෙන් රැකියා 92,000ක් අහිමි වී ඇති බව නවතම නිල වාර්තා පෙන්වා දෙයි. මෙය ආර්ථික විශ්ලේෂකයන් බලාපොරොත්තු නොවූ පසුබෑමක් වන අතර, මේ සමඟ අමෙරිකාවේ විරැකියා අනුපාතය 4.4% දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම රැකියා කප්පාදුව පසුගිය ඔක්තෝබර් මාසයේ රජය තාවකාලිකව වසා දැමීමෙන් පසු වාර්තා වූ විශාලතම මාසික රැකියා අහිමි වීම ලෙස සටහන් වේ. ඉරානය තුළ ඇවිළී යන අමෙරිකා-ඊශ්‍රායල යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම මෙම ආර්ථික පසුබෑමට ප්‍රධානතම හේතුවක් වී ඇති බව විද්වතුන් පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් ශක්තිමත් මට්ටමක පවතින සෞඛ්‍ය ක්ෂේත්‍රය පවා පසුගිය මාසයේ පැවැති වැඩවර්ජන හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, අනෙකුත් සෑම ප්‍රධාන ක්ෂේත්‍රයකම පාහේ රැකියා අවස්ථා අඩුවීමක් දක්නට ලැබේ. මෙම තත්ත්වය අමෙරිකානු ආර්ථිකයේ ස්ථාවරත්වය පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කර තිබේ














