ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම සහ දීර්ඝතම රජය වසා තැබීම (Government Shutdown) අවසන් කිරීම සඳහා රිපබ්ලිකන් පක්ෂයේ නායකයින් නව එකඟතාවයකට පැමිණ තිබේ. පසුගිය පෙබරවාරි 14 වැනිදා සිට ක්‍රියාත්මක වූ මෙම අර්බුදය හේතුවෙන් ඇමරිකානු මව්බිම් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (DHS) මූල්‍ය කටයුතු ඇනහිට තිබූ අතර, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ට වැටුප් ගෙවීමට නොහැකි වීමෙන් ගුවන් ගමන් ද දැඩි ලෙස ප්‍රමාද විය. සභානායක මයික් ජොන්සන් සහ සෙනෙට් සභා නායක ජෝන් තූන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප්ගේ උපදෙස් මත මෙම සතිය තුළ රජයේ කටයුතු යථා තත්ත්වයට පත් කරන බවයි.
මෙම නව සැලසුම යටතේ දේශසීමා ආරක්ෂාව සහ සංක්‍රමණික නීති ක්‍රියාත්මක කරන ආයතන (ICE සහ CBP) සඳහා වෙනම අයවැය ලේඛන මඟින් ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතය. මීට පෙර මිනසෝටා ප්‍රාන්තයේ ඇති වූ ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියයාම හේතුවෙන් සංක්‍රමණික නීති සංශෝධනය කරන ලෙස ඩිමොක්‍රටික් පක්ෂය කළ බලපෑම් මත මෙම අර්බුදය උග්‍ර විය. කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප් විසින් එළඹෙන ජුනි 01 වැනිදාට පෙර දේශසීමා ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය අරමුදල් සම්මත කරන ලෙස රිපබ්ලිකන් පක්ෂයට නියෝග කර තිබේ.
මාසයකට අධික කාලයක් වැටුප් නොමැතිව සේවය කළ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් (TSA) මේ වන විට යළි වැටුප් ලබා ගැනීමට ආරම්භ කර ඇති අතර, නව සැලසුම සම්මත වීමත් සමඟ ගුවන් තොටුපොළවල පවතින දැඩි තදබදය පහව යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඩිමොක්‍රටික් පක්ෂය මෙම තීරණය “රිපබ්ලිකන් පක්ෂය පසුබෑමකට ලක්වීමක්” ලෙස හඳුන්වන අතර, ඉදිරි දින කිහිපය තුළ මෙම පනත් කෙටුම්පත් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේදී සම්මත කිරීමට නියමිතය.














