මිචිගන් ප්‍රාන්තයේ වෙස්ට් බ්ලූම්ෆීල්ඩ් (West Bloomfield) ප්‍රදේශයේ පිහිටි ‘Temple Israel’ යුදෙව් දේවස්ථානයේ ප්‍රධාන දොරටුවට වාහනයක් හිතාමතාම කඩා වැදීමෙන් පසු ඇති වූ ගැටුමකදී එම සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඔක්ලන්ඩ් ප්‍රාන්ත ෂෙරිෆ් මයිකල් බුචාර්ඩ් තහවුරු කළේය. බ්‍රහස්පතින්දා පස්වරුවේ සිදුවූ මෙම ප්‍රහාරයත් සමඟ ආරක්ෂක අංශ සහ සැකකරු අතර වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති අතර, පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එම ස්ථානයට කැඳවීමට බලධාරීන් කටයුතු කර ඇත.
ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) ප්‍රකාශ කර ඇති පරිදි, මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ලෙබනනයේ උපත ලබා පසුව ඇමරිකානු පුරවැසිභාවය ලැබූ 41 හැවිරිදි අයිමන් මොහොමඩ් ගසාලි (Ayman Mohamad Ghazali) නැමැත්තෙකු විසිනි. වාහනය දේවස්ථානය තුළට කඩා වැදීමත් සමඟ එහි ගින්නක් ද හටගෙන ඇති අතර, පුපුරණ ද්‍රව්‍ය තිබිය හැකි බවට සැකයෙන් බෝම්බ නිශ්චය කිරීමේ කණ්ඩායම් සහ විශේෂ පුහුණුව ලත් සුනඛයන් යොදවා එම ස්ථානය පරීක්ෂාවට ලක් කර තිබේ.
මෙය යුදෙව් ප්‍රජාව ඉලක්ක කරගෙන හිතාමතාම සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියාවක් බව FBI ආයතනය පෙන්වා දෙයි. සැකකරුගේ මරණයට සැබෑ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඔහු ආරක්ෂක අංශවල වෙඩි පහරින් මියගියේ ද නැතහොත් වාහනයේ ඇති වූ ගින්නෙන් මියගියේ ද යන්න තවදුරටත් විමර්ශනය කෙරේ. ඉරාන-ඇමරිකානු යුදමය වාතාවරණය හමුවේ ඇමරිකාව තුළ පවතින ආරක්ෂක අවදානම මධ්‍යයේ මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි.














