මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු මිසයිල ආරක්ෂණ ජාලයේ හදවත බඳු වූ, ජෝර්දානයේ මුවාෆාක් සෝල්ටි (Muwaffaq Salti) ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර තිබූ AN/TPY-2 රේඩාර් පද්ධතිය ඉරාන ප්‍රහාරයකින් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. චන්ද්‍රිකා ඡායාරූප මගින් තහවුරු වී ඇති මෙම දැවැන්ත විනාශය පසුව ඇමෙරිකානු නිලධාරියෙකු විසින් ද පිළිගෙන ඇත. බැලැස්ටික් මිසයිල වායුගෝලයේ කෙළවර මට්ටමේදී හඳුනාගෙන විනාශ කරන ප්‍රබල THAAD පද්ධතිය මෙහෙයවීමට මෙම රේඩාර් පද්ධතිය අත්‍යවශ්‍ය වන අතර, එහි වටිනාකම පමණක් ඩොලර් මිලියන 300ක් (රුපියල් බිලියන 90ක් පමණ) වේ.
ගෝලීය වශයෙන් ඇමෙරිකාව සතුව ඇත්තේ මෙවැනි THAAD පද්ධති අටක් පමණක් වන බැවින්, මෙය අතිශය තීරණාත්මක මූලෝපායික අහිමි වීමක් ලෙස ආරක්ෂක විශේෂඥයෝ හඳුන්වති. මෙම රේඩාර් පද්ධතිය අක්‍රිය වීමත් සමඟ ඉරාන මිසයිල මැඩපැවැත්වීමේ වගකීම දැන් පේට්‍රියට් (Patriot) පද්ධති වෙත පැවරී ඇතත්, ඒ සඳහා යොදාගන්නා PAC-3 මිසයිල තොග දැනටමත් හිඟ පවතින බැවින් ගල්ෆ් කලාපයේ අහස ඉරාන ප්‍රහාර හමුවේ අතිශය අවදානමකට ලක්ව ඇත. මීට පෙර කටාර්හි පිහිටි රේඩාර් පද්ධතියකට ද හානි සිදුවූ අතර, පවතින උග්‍ර ආයුධ හිඟය පිළිබඳව සාකච්ඡා කිරීමට පෙන්ටගනය සහ ධවල මන්දිරය පසුගියදා විශේෂ හමුවක් ද පවත්වා තිබේ.














