ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වුවද, පසුගිය සති කිහිපය තුළ එල්ල වූ ප්‍රහාරවලින් ඉරාන නායකත්වය විනාශ වී ඇති බැවින් “සාකච්ඡා කිරීමට කිසිවෙකු ඉතිරිව නැතැයි” ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) ප්‍රකාශ කළේය. ධවල මන්දිරයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉරානයේ නාවික, ගුවන් සහ ගුවන් ආරක්ෂක පද්ධති මෙන්ම නායකත්වය ද මේ වන විට සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වී ඇති බවයි.
“මීට සති දෙකකට පෙර ඔවුන්ට නාවික හමුදාවක් තිබුණා. දැන් එය මුහුදු පතුලේ. දින දෙකක් තුළ ඔවුන්ගේ නැව් 58ක් විනාශ කළා,” යනුවෙන් ට්‍රම්ප් සඳහන් කළේය. ඉරානය න්‍යෂ්ටික අවි ලබා ගැනීම වැළැක්වීම තම රජයේ ප්‍රධාන අරමුණ බවත්, එම අවි ලැබුණහොත් ඔවුන් ඒවා අනිවාර්යයෙන්ම භාවිත කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් එරට හිටපු උත්තරීතර නායක අලි ඛමේනි ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් මියගිය බව වාර්තා වේ. මෙම දරුණු ප්‍රහාරවලින් ළමුන් ඇතුළු පුද්ගලයන් 1,300කට අධික පිරිසක් මියගොස් ඇති අතර, ඉරානය ද ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය සහ කලාපයේ ඇමෙරිකානු ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටියි.














