ඉරානයේ නව උත්තරීතර නායකයා පත් කර ගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෘජු හා දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. ඉරානය සිය නව නායකයා පත් කර ගැනීමට පෙර අමෙරිකාවේ අනුමැතිය ලබා නොගතහොත්, පත්වන ඕනෑම නායකයෙකුට එම ධුරයේ දීර්ඝ කාලයක් රැඳී සිටීමට ඉඩ නොලැබෙනු ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
පසුගියදා ඇති වූ දේශපාලනික පෙරළියත් සමඟ ඉරානයේ උත්තරීතර නායකත්වයට මොජ්තබා කමේනි පත් කර ඇති පසුබිමක ට්‍රම්ප් මෙලෙස අදහස් දක්වා තිබේ. ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය වාතාවරණය සහ මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව ඇත.
මෙම තත්ත්වය හමුවේ ඉරාන රජය සිය ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනු ඇති අතර, බලවතුන් අතර පවතින මෙම ගැටුම ලෝක වෙළඳපොළට සහ කලාපීය සාමයට සෘජුව බලපානු ඇති බව විදේශ දේශපාලන විශ්ලේෂකයෝ පවසති.














