ඇමරිකානු මැරීන් භටයින් සහ නාවිකයන් 3,500ක් රැගත් ‘යූඑස්එස් ට්‍රිපොලි’ (USS Tripoli) නෞකාව මැදපෙරදිග කලාපයට පැමිණීමත් සමඟ, ඉරාන සන්නද්ධ හමුදා ඕනෑම ඇමරිකානු පාබල හමුදා ආක්‍රමණයක පෙරමග බලා සිටින බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් අනතුරු අඟවයි. ඇමරිකානු හමුදා ඉරාන භූමියට ඇතුළු වීමට උත්සාහ කළහොත් ඔවුන් මත “ගිනි වැසි” වස්වන බවට ඔහු මෙහිදී ප්‍රතිඥා දුන්නේය.
ඇමරිකානු මධ්‍යම අණසක (US Central Command) ප්‍රකාශ කරන පරිදි, මෙම නවතම බලඇණිය ප්‍රහාරක සහ ප්‍රවාහන පහසුකම්වලින් සමන්විතය. මේ අතර, පෙන්ටගනය සති කිහිපයක් පුරා පැවතිය හැකි පාබල හමුදා මෙහෙයුමක් සඳහා සූදානම් වන බව ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කළද, ඇමරිකානු නිලධාරීන් ඒ පිළිබඳව මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැත. ඇමරිකාව ප්‍රසිද්ධියේ සාකච්ඡා ගැන කතා කළද රහසිගතව පාබල ප්‍රහාරයක් සැලසුම් කරන බවට ඉරාන කථානායකවරයා වැඩිදුරටත් චෝදනා කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම යුද්ධය අවසන් කිරීම හෝ තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳව පරස්පර අදහස් පළ කරමින් සිටියද, අඛණ්ඩ මිලිටරි මෙහෙයුම් සඳහා ඩොලර් බිලියන 200ක හදිසි ප්‍රතිපාදන කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා සිටීමට සූදානම් වන බවට වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ කලාපීය යුදමය උණුසුම තවදුරටත් ඉහළ ගොස් තිබේ.
















