විද්‍යුත් සිගරට් හෙවත් වේප් (Vaping) භාවිතය සාමාන්‍ය සිගරට් පානයට වඩා සෞඛ්‍ය සම්පන්න විකල්පයක් ලෙස ඇතැමුන් හඳුන්වා දුන්නද, එය දරුණු ඇබ්බැහියක් නිර්මාණය කරන බවත් ඒ හා බැඳුණු බරපතල රෝග ලක්ෂණ පවතින බවත් මනෝවිද්‍යාඥයෝ පෙන්වා දෙති. ඕස්ට්‍රේලියානු පර්යේෂක සහ මනෝවිද්‍යාඥ ක්ලෙයාර් වේක්ෆීල්ඩ් (Claire Wakefield) පවසන්නේ, පුද්ගලයෙකු වේප් භාවිතයට ඇබ්බැහි වී ඇති බව හඳුනාගත හැකි ප්‍රධානතම ලක්ෂණය වන්නේ එය භාවිතා නොකරන අවස්ථාවල පවා ඒ පිළිබඳව නිරන්තරයෙන් සිතීමට පෙළඹීම බවයි.
ඇය සඳහන් කරන පරිදි, උදෑසන අවදි වූ සැනින් “මගේ වේප් එක කොහේද?” යන සිතුවිල්ල ඇති වීම හෝ ඊළඟ වතාවේ වේප් එකක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැඩි කාංසාවක් (Anxiety) දැනීම ඇබ්බැහියක රතු එළි වේ. මනෝවිද්‍යාත්මක බලපෑමට අමතරව ‘Nic-sick’ ලෙස හඳුන්වන අධික නිකොටින් විෂ වීම (Acute Nicotine Toxicity) මෙහිදී දැකිය හැකි ප්‍රධාන ශාරීරික රෝග ලක්ෂණයකි. එකවර නිකොටින් විශාල ප්‍රමාණයක් ශරීරගත වීම නිසා වමනය සහ ඔක්කාරය වැනි තත්ත්වයන් ඇතිවන අතර, අධික ලෙස වේප් භාවිතා කරන්නන්ගේ වමනය පවා ඔවුන් භාවිතා කරන වේප් රසයට (උදාහරණ ලෙස ස්ට්‍රෝබෙරි රසය) සමාන විය හැකි බව ඇය පෙන්වා දෙයි.
ඖෂධවේදීන් පෙන්වා දෙන්නේ වේප් භාවිතය නතර කළ සැනින් පෙනහළුවල ඇති වන ප්‍රදාහයන් (Inflammation) අඩු වී ඒවා ස්වයංව සුව වීමට පටන් ගන්නා බවයි. එහෙත් සම්පූර්ණ සුවය ලැබීම පුද්ගලයාගේ වයස, භාවිත කළ කාලය සහ ඇදුම වැනි වෙනත් රෝගී තත්ත්වයන් මත තීරණය වේ. දීර්ඝකාලීනව පෙනහළුවලට සිදුවන හානිය පිළිබඳව තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බැවින්, මෙම ඇබ්බැහියෙන් මිදීම සෞඛ්‍යයට ඇති විය හැකි බරපතල අවදානම් අවම කර ගැනීමට ඇති එකම මග බව විශේෂඥයෝ අවධාරණය කරති.














