වව්නියාව – යාපනය A9 ප්‍රධාන මාර්ගයේ මූන්රුමුරිප්පු ප්‍රදේශයේදී ඊයේ (මාර්තු 12) දහවල් 2.45 ට පමණ කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ. වව්නියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වෙමින් තිබූ මෙම ලොරි රථය, වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණු කිහිපයකද ගැටී පෙරළී ගොස් ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථය තුළ රියදුරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් සුළු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් වහාම වව්නියාව මහ රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත. අනතුර නිසා ලොරි රථයට මෙන්ම අසල තිබූ විදුලි පද්ධතියට ද දැඩි හානි සිදුව ඇති අතර, එම ප්‍රදේශයේ විදුලි සැපයුමට ද තාවකාලිකව බාධා එල්ල විය.
පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ වාහනවල ටයර් සම්බන්ධයෙන් පවතින ගැටලු හෝ රියදුරන්ට ඇතිවන විඩාබර ගතිය මෙවැනි අනතුරු කෙරෙහි බලපෑ හැකි බව පොලිසිය පෙන්වා දෙයි. ඒ අනුව, මාර්ගයේ ධාවනය කිරීමේදී වඩාත් විමසිලිමත් වන ලෙසත්, නියමිත වේග සීමාවන් පවත්වා ගන්නා ලෙසත් වව්නියාව පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. අනතුර සම්බන්ධයෙන් වව්නියාව පොලිස් රථ වාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.














