වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodriguez) මහත්මිය ප්‍රකාශ කළේ එළඹෙන මැයි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එරට සේවකයින්ගේ වැටුප් “වගකීම් සහගත ලෙස” වැඩිකිරීමට රජය තීරණය කර ඇති බවයි. ඛනිජ තෙල් සහ පතල් කැණීම් ක්ෂේත්‍රයේ සිදුවන සංවර්ධනය හරහා ලැබෙන ආදායම උපයෝගී කරගනිමින් මෙම වැටුප් වර්ධක ලබාදීමට බලාපොරොත්තු වන බව ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත්, වැඩිකරන වැටුප් ප්‍රමාණය සම්බන්ධයෙන් ඇය නිශ්චිත අගයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැත. වෙනිසියුලාවේ මූලික අවම වැටුප 2022 මාර්තු මාසයේ සිට මසකට බොලිවර් 130ක මට්ටමේ පවතින අතර, එය ඇමරිකානු ඩොලර්වලින් ඉතා සුළු අගයකි. එහෙත් රජයේ සේවකයින්ට ලැබෙන විවිධ දීමනා සහ ප්‍රසාද දීමනා සමඟ ඔවුන්ගේ මාසික ආදායම ඩොලර් 150ක පමණ මට්ටමක පවතී. උද්ධමනය පිළිබඳව ද අවධානය යොමු කරමින් මෙම වැටුප් සංශෝධනය සිදු කරන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට පත්වීමෙන් පසු, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සහ රොඩ්රිගස් රජය අතර සබඳතා වර්ධනය වී තිබේ. වෙනිසියුලාවට පනවා ඇති ඇමරිකානු සම්බාධක ඉවත් කරන ලෙස රොඩ්රිගස් මහත්මිය මෙහිදී නැවතත් ඉල්ලීමක් කළ අතර, අනාගතයේදී වෙනිසියුලාවේ තෙල් සහ පතල් ක්ෂේත්‍රයේ අමෙරිකානු ආයෝජන පුළුල් කිරීමට ද දෙපාර්ශ්වය අවධානය යොමු කර ඇත.














