වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් මහත්මියට එරෙහිව පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඊයේ (01) පියවර ගෙන තිබේ. හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ (Nicolás Maduro) ඇමෙරිකානු හමුදා භාරයට පත්වීමෙන් පසු, වෙනිසියුලාවේ නීත්‍යානුකූල පාලිකාව ලෙස රොඩ්රිගස් මහත්මිය පිළිගැනීමට ඇමෙරිකාව ගත් තීරණාත්මක පියවරක් ලෙස මෙය සැලකේ.
පසුගිය ජනවාරි 3 වනදා වෙනිසියුලාවේ කරාකස් (Caracas) අගනුවරදී නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ ඇමෙරිකානු හමුදා මගින් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් මේ වන විට නිව්යෝර්ක්හි බන්ධනාගාරයක රඳවා සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මතය. මදුරෝගේ පාලන සමයේදී ඩෙල්සි රොඩ්රිගස් සහ ඇයගේ සොහොයුරාට එරෙහිව 2018 වසරේදී ඇමෙරිකාව සම්බාධක පනවා තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කිරීමේ චෝදනාව මත වුවද, වත්මන් ට්‍රම්ප් පරිපාලනය ඇය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇත.
මෙම සම්බාධක ඉවත් කිරීමත් සමඟ රොඩ්රිගස් මහත්මියට ඇමෙරිකානු සමාගම් සහ ආයෝජකයන් සමඟ වඩාත් නිදහස් ලෙස ගනුදෙනු කිරීමට අවස්ථාව හිමිවේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීරණය දෙරට අතර සබඳතා යථා තත්ත්වයට පත් කිරීමේ වැදගත් පියවරක් ලෙස ඇය සිය ටෙලිග්‍රෑම් (Telegram) ගිණුම ඔස්සේ අගය කර තිබේ. තෙල් සම්පතින් පොහොසත් වෙනිසියුලාව ජාත්‍යන්තර ආයෝජකයන්ට විවෘත කිරීමට සහ රටේ ආර්ථිකය යළි ගොඩනැගීමට ඇය වත්මන් ඇමෙරිකානු රජය සමඟ එක්ව කටයුතු කරමින් සිටියි.














