මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම අඩාල වීමේ බිය මත, වියට්නාම රජය අද (මාර්තු 20) අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල 20%කට වඩා වැඩි අගයකින් ඉහළ නංවා තිබේ. ඉරානය සහ ගල්ෆ් කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර හේතුවෙන් අග්නිදිග ආසියානු රටවල ඉන්ධන මිල මෙලෙස සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 20%කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වියට්නාම ඩොන්ග් 30,690ක් (ඇමෙරිකානු ඩොලර් 1.20ක් පමණ) වේ. ඩීසල් මිලෙහි දරුණුතම වැඩි වීමක් වාර්තා වන අතර එය 34%කට ආසන්න අගයකින් ඉහළ ගොස් ලීටරයක් ඩොන්ග් 33,420ක් දක්වා වැඩි වී තිබේ.
ඉරානයට සහ ගල්ෆ් කලාපයේ අනෙකුත් රටවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඩීසල් සැපයුම සීමා වීම නිසා සමස්ත අග්නිදිග ආසියානු කලාපයම දැඩි ආර්ථික පීඩනයකට ලක්ව ඇත. වියට්නාම රජය මෙම හදිසි මිල ඉහළ නැංවීම සිදු කළේ ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟයකට පිළියමක් වශයෙනි.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදය හේතුවෙන් තෙල් ප්‍රවාහන වියදම් ඉහළ යාම සහ සැපයුම් දාම බිඳ වැටීම නිසා ඉදිරි දින කිහිපය තුළ අනෙකුත් ආසියානු රටවල ද ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.













