වැල්ලවාය, අලිකොටආර ප්‍රදේශයේ පිහිටි කොටිකම්බොක්ක තිරුවානා නිධිය ආශ්‍රිතව රහසිගතව පවත්වාගෙන ගිය අනවසර කැණීම් ස්ථානයක් වැටලීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබේ. පරිසරයට දැඩි හානි පමුණුවමින් පවත්වාගෙන ගිය මෙම ස්ථානයේ තිබී අනවසරයෙන් කැණීම් කරන ලද තිරුවානා ඛණිජ කියුබ් 70ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ උපකරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම තිරුවානා නිධිය පසුගිය පෙබරවාරි මාසයේදී ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නිරීක්ෂණයට ද ලක් වූ අතර, එහිදී මෙම ස්වභාවික සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණි.
පවතින නීතිමය හා පාරිසරික ගැටලු නිරාකරණය කිරීමෙන් අනතුරුව, විනිවිදභාවයකින් යුත් විධිමත් කැණීම් කටයුතු සඳහා කඩිනමින් අභිලාෂයන් කැඳවීමට (EOIs) රජය සැලසුම් කර ඇත. රටේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් මෙවැනි ඛණිජ සම්පත් පරිසරය ආරක්ෂා වන පරිදි නිසි නියාමනයකින් යුතුව යොදා ගැනීමට ඉදිරියේදීත් කටයුතු කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අවධාරණය කරයි.














