දිවයින පුරා ක්‍රියාත්මක වන සමූපකාර දෙසතිය නිමිත්තෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ සමූපකාර දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි සහ කර්මාන්ත ශාලා නවීකරණය කිරීමේ විශේෂ වැඩසටහන අද (27) නිල වශයෙන් ආරම්භ විය. සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
මෙම නවීකරණ වැඩපිළිවෙළ යටතේ උතුරු පළාත පුරා පිහිටි කෝප් සිටි (Co-op City) වෙළෙඳසැල් ඇතුළු සමූපකාර ආයතනවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතය. මෙහි මූලික අරමුණ වන්නේ සමූපකාර සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ප්‍රාදේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ නව රැකියා අවස්ථා උත්පාදනය කරමින් ජනතාවට විශ්වාසදායක සේවාවක් ලබා දීමයි.
වැඩසටහනට සමගාමීව නියෝජ්‍ය අමාත්‍යවරයා වවුනියාව විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පවත්වාගෙන යන තලතෙල් නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. එහිදී සමූපකාර සමිති මුහුණ දෙන ගැටලු, ඉඩම් ගැටලු සහ සේවා පුළුල් කිරීම පිළිබඳව නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, පළාත් ආණ්ඩුකාරවරයා සහ දිස්ත්‍රික් ලේකම්වරයා සම්බන්ධ කරගනිමින් එම ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමට යෝජනා විය.
මෙම අවස්ථාවට වවුනියාව සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස් එස්. ශ්රීකුමරන් සහ වවුනියාව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති එන්. ශ්‍රීස්කන්දරාජා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














