අපේ අනාගත පරම්පරාව ලෝකයට හුදු ශ්‍රමිකයන් වෙනුවට ලෝකයට අවශ්‍ය වෘත්තීයවේදීන් බිහිකරන රටක් බවට පත් කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 16 වනදා දකුණු කොරියාවේ තේගු නගරයේ එක්ස්කෝ ශාලාවේ පැවැති සමුළුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පල කල අනුර දිසානායක මහතා ” අපේ රටටත් අපේ රටේ ජනතාවටත් එළඹෙන වසර සුබ කර ගැනීම සඳහා අපට කිරීමට ගොඩක් වැඩ තිබෙනවා. රටත් ජනතාවත් මේ මුහුණ දී තිබෙන අසීරුතාවෙන් ගොඩගැනීම සඳහා ධෛර්මත් වසරක් බවට පත්කරන්න අපි සෑම දෙනාම දැඩි අධිෂ්ඨානයකින් යුතුව මැදිහත් වෙමු කියා මම ආරාධනා කරනවා. මේ දකුණු කොරියාවේ මේ ශාලාව පිරෙන්න එකතුවෙලා ඉන්න තරුණ තරුණියන්ගේ මුහුණු දකින කොට අපේ රටේ අවාසනාවන්ත කාලය ඉතා ඉක්මනින්ම අහවර කරන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් ඇති වෙනවා. ඔබ දේශපාලනය කරන්න, ශාඛා සමිති හදන්න, වේදිකා හදන්න කොරියාවට ආවෙ නැහැ. එහෙත් කොරියාවේ සිට ඔබ අපේ රටට අත්වෙමින් තිබෙන ඉරණම පිළිබඳව ඉතාමත් අවබෝධයෙන්, අවධානයෙන් ඉන්නවා. ඔබගේ ඥාතීන් ඔබගේ හිතවතුන් ඔබගේ මිතුරන් අපේ රටේ ජනතාවත් පත්වෙමින් තිබෙන පීඩාකාරී ජීවිතය පිළිබඳව ඔබ කොරියාවේ සිට ඉතාමත් අවධානයෙන් සහ වේදනාවෙන් ඉන්නවා. වර්තමානයේ අපේ රටත් අපේ රටේ ජනතාවත් මුහුණ දී තිබෙන ඛේදවාචකය වෙනස් කළ යුතුයි කියන දැඩි අධිෂ්ඨානයක් ඔබ තුළ තිබෙන නිසා තමයි මේ අවස්ථාවට ඔබ සහභාගි වී සිටින්නේ. ඔබ ආදායමක් සහිත යම් වෘත්තියක යෙදෙන ගමන්, අපේ රට පත්වී තිබන ඛේදවාචකයෙන් මුදා ගැනීම සඳහා අධිෂ්ඨානයකින්, ධෛර්යයකින් යුතුව අපට සවන් දෙන්න අපිත් එක්ක කතාබහ කරන්න මේ අවස්ථාවට සහභාගි වී සිටිනවා.
අපි දන්නවා අපේ රටේ ජනතාවගෙන් බොහෝ දෙනෙක් විදෙස්ගතව රැකියාවල නිරතවෙමින් සිටිනවා. අපේ රටේ විදෙස්ගත වෙන කණ්ඩායමේ ප්‍රධාන වර්ග තුනක් තිබෙනවා. එකක් රට ඇතුලෙත් යම් සමාජ තත්වයක් තිබෙන රැකියාවක් තිබෙන ආදායම් මාර්ගයක් තිබෙන එහෙත් අනාගතය පිළිබඳ අවිශ්වාසයක් තිබෙන පිරිස. ඔබ දන්නවා ඇති පසුගිය කාලයේ වාර්තා වීම්. කැලණිය විශ්විද්‍යාලයේ අයි.ටී. ඩිපාට්මන්ට් එකේ මහාචාර්යවරයෙක් කිවුවා ඒ අංශයට සාමාන්‍යයෙන් ආචාර්යවරු 26ක් වත් අවශ්‍යයි කියලා. නමුත් දැන් සිටින්නේ හතර දෙනයි. පත්තරේක දැන්වීමක් දාලා සම්මුඛ පරීක්ෂණ කඳවා තිබුණා. නමුත් එවැනි දැනුමක් තිබෙන, හැකියාවක් තිබෙන, කුසලතාවයක් තිබෙන වෘත්තියවේදීන් කවුරුවත් ඇවිත් නැහැ කියලා. ඔබ පසුගිය දිනවල දකින්න ඇති මාධ්‍ය මගින් වාර්තා වෙලා තිබුණා, අනුරාධපුර ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් හතරදෙනාම විදෙස් ගතවෙලා, ළමා රෝහලේ ඒ අංශය වසා දමන්න සිදුවුණා. ඒ වගේම අපේ රටේ බැංකුවල ඉහළ වෘත්තීයවේදීන් 3800කට වැඩි පිරිසක් රට අත්හැර ගොස් තිබෙනවා. බැංකු කළමනාකරුවෙක්, විශ්විද්‍යාල ආචාර්යවරයෙක්, වෛද්‍යවරයෙක්, අයි.ටී. ඉංජිනේරුවරයෙක් කියන්නේ රටක වෘත්තීමය ශ්‍රමය. කොරියාවේ සංවර්ධනයේ ඉතිහාසය බැලුවොත් වැදගත්ම කාර්යභාරයක් වෙලා තිබෙනවා අධ්‍යාපනය සහ වෘත්තීමය ශ්‍රමය. අලුත් නිෂ්පාදනය, නව සොයාගැනීම්, නව තාක්ෂණයේ අවස්ථා, නිර්මාණය කර තිබෙන්නේ වෘත්තිමය ශ්‍රමය. අපේ රටේ වෘත්තීමය ශ්‍රමය රට අත්හැර යන තත්වයකට පත්වෙලා තිබෙනවා. වෛද්‍යවරයෙක් ගත්තොත් ඔහුට සමාජ පිළිගැනීමක් තිබෙනවා. සැලකිය යුතු ආදායම් මාර්ගයක් තිබෙනවා. එහෙත් ඔවුන් කල්පනා කරනවා අපේ රට තුළ ජීවත් වෙමින් අනාගතයට කුමක් වේවිද? තමන්ගේ දරුවන්ට කුමක් වේවිද? ඒ නිසා තමන්ගේත් තමන්ගේ දරුවන්ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් විශාල ප්‍රමාණයක් රට අත්හැර යමින් තිබෙනවා. අපේ රටේ වෘත්තීය ප්‍රජාව රට අත්හැර සමාජ ආරක්ෂණයක් සහිත රටවලට ගමන් කරමින් තිබෙනවා. අපි වෛද්‍යවරයෙක් හදන්න රටක් හැටියට විශාල පිරිවැයක් දරා තිබෙනවා. ඒ දැනුම, ඒ අත්දැකීම්, ඒ ඥානය සහිත වෛද්‍යවරයෙක් නිර්මාණය කරනවා. ඒකට රටක් හැටියට අපි විශාල ගෙවීමක් කර තිබෙනවා. හැබැයි ඒ වෛද්‍යවරයා ඉතා කුඩා මුදලකට ඕස්ටේ්‍රලියාව, එංගලන්තය වැනි රටවල් විසින් මිලදී ගන්නවා. ඒ වෘත්තීමය ශ්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා වන ආණ්ඩු ක්‍රියාවලියන් අපේ රට තුළ අද ගොඩනැගී නැහැ.
ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර තමන්ගේ අධ්‍යාපනයේ ඊළඟ පියවර සඳහා විදෙස්ගත වෙන ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. ලංකාවේ වැඩිම විදෙස්ගත වී සිටින ප්‍රමාණය තමයි, ලංකාව තුළ තමන්ගේ හැකියාව, දැනුම තමන්ගේ ශ්‍රමය යොදවලා තමන්ට තමන්ගේ පවුලට ස්ථිරසාර ආර්ථිකයක් ගොඩනගා ගැනීමේ හැකියාවක් නොමැති පිරිස. විවාහ විමට බලාපොරොත්තුව සිටින තරුණයන්, විවාහ වීමට සූදානම් වී සිටියත් විවාහ වී ජීවිතය ගතකරන්නේ කොහොමද කියන ප්‍රශ්නයට මුහුණ දෙනවා. විවාහ වුණු තරුණයා නිවසක් තනා ගන්නේ කොහොමද? ආදායම් මාර්ගයක් හදාගන්නේ කොහොමද? දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්නේ කොහොමද? කියලා නිසි ආදායම් මාර්ගයක් නොමැතිකමින් පෙළෙනවා. ඒ නිසා මා හිතනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩිම පංගුව ඉන්නේ ලංකාව තුළ තමන්ට නිසි ආදායම් මාර්ගයක් හදා ගැනීමට නොහැකි නිසා තමන් වෙනුවෙන් තමන්ගේ පවුල වෙනුවෙන් යම් ආදායම් මාර්ගයක් උපයා ගැනීමේ අපේක්ෂාවෙන් විදෙස්ගත වූ පිරිස. දකුණු කොරියාවේ මේ ඉන්න පිරිසෙන් වැඩිම පිරිස ඉන්නේ ඒ අය. තමන් ඉපදුනු ගම, තමන්ගේ ඥාතීන්, තමන්ගේ පවුල තමන්ගේ දරුවා, තමන්ගේ පරිසරය මුළුමනින්ම අත්හැර ධීවර කර්මාන්තයේ, ඉදිරිකිරීම් කර්මාන්තයේ, නිෂ්පාදන කර්මාන්තයේ ශ්‍රමය වගුරන රැකියාවකට දකුණු කොරියාවට එන්න සිදුවෙලා තිබෙනවා. අපේ රටේ ආණ්ඩු, පාලකයින් සමත් වුණේ නැහැ, හැකියාව, දැනුම, ශ්‍රමය මව්බිම තුළ රඳවාගෙන මව්බිම ගොඩනැගීම සඳහා වන වැඩපිළිවෙළක් සකස් කිරීමට. අද අපේ රටේ තරුණ පරම්පරාවට තෝරා ගැනීමට සිදුවී තිබෙන දේ තමයි කුමක් හෝ වෙනුවෙන් රට අත්හැර යාම. පාස්පෝර්ට් කාර්යාලයේ පෝලිම්වල සිටගෙන, කොරියන් භාෂා පන්තිවල ඉගෙන ගෙන, විදෙස් කාර්යාංශයේ නිදිමරාගෙන පෝලිම්වල සිටගෙන සිටින ආකාරය පසුගිය කාලයේ අපි දුටුවා. දිනූ මව්බිම වැදූ මව මෙන් රකින්න කිවුවාට අපේ දරුවන්ට දිනූ මව්බිමට ආරක්ෂාවත් ජීවිතයත් දෙන්න නොහැකි වී තිබෙනවා. අපේ තරුණ පරම්පාරාව අපේ රටට බරක් වෙලා. ඒ නිසා මව්බිම අත්හැර යාමට පොළඹවනවා. 1980 මැද භාගයේ ඉස්සෙල්ලාම විකිණුවේ පේෂ කර්මාන්තශාලා ටික. අපේ ගම්වල තිබුණා විවීන් මධ්‍යස්ථාන. ගමට අවශ්‍ය වන බෙඩ්ෂීට් එක, තුවාය, අත් පිස්නා නිපදවූවා. අපට තුල්හිරිය, මත්තේගොඩ, පූගොඩ, වේයන්ගොඩ රෙදි ජනපද තිබුණා. පළමුවෙන්ම පේෂ කර්මාන්ත ශාලා ටික විකුණලා මේ ආර්ථිකයේ විකිණීම පටන් ගත්තා. අපේ රෙදි ජනපද සියල්ල විනාශ කළා. ඊළඟට වතු ටික විකුණන්න පටන් ගත්තා. අපේ තේ වතුවලින් 60%කට වැඩි ප්‍රමාණයක් මහා වතු. 40%කට ආසන්න ප්‍රමාණයක කුඩා වතු. නමුත් කුඩා වතුවලින් අස්වැන්න දෙනවා 60%ක්. මහා වතුවල පාළු හිටෙව්වේ නැහැ, නැවත වගා ඇති කළේ නැහැ, ගස් ටික කැපුවා. තාක්ෂණය එකතු කළේ නැහැ. මුළු තේ කර්මාන්තයම අර්බුදයට ලක්කළා. ඊළඟට අපේ කර්මාන්ත ශාලා ටික විකුණන්න පටන් ගත්තා.1980 දශකයේ ඒ යුගයට අදාළ තාක්ෂණය සහිතව ක්‍රියාත්මක වුණු ඇඹිලිපිටියේ කඩදාසි කර්මාන්ත ශාලාව විකිණුවා. එය මිලදී ගත් අය ඉඩම බැංකුවට තබා සල්ලි රැගෙන යන්න ගියා. වැලිසර කිරිපිටි කම්හල විකුණුවා. අද එය වසාදමා තිබෙනවා. අක්කර 23,000ක ඉඩම සහිත කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වික්කා. අද පාලුවට ගිහින් තිබෙනවා. සම්භාණ්ඩ කර්මාන්ත ශාලාව, හිඟුරාන සිනි කර්මාන්තශාලාව, ටෙලිකොම් වික්කා. ඒගොල්ලන්ගේ ආර්ථික ගමන මොකක්ද? එකක් ණය ගැනීම. දෙක විකිණීම.
2017 වෙනවිට පැවති පාලනයන් අපේ රාජ්‍ය ආයතන 88ක් විකුණා තිබෙනවා. දැන් ආයතන 08ක් විකිණීමට සූදානම් වෙනවා. එකක ලංකා හොස්පිට්ල්. මෙය අයිති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට. දැන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකූණනවා. ඒකත් සමගම ලංකා හෝපිට්ල් විකුණනවා. ශ්‍රී ලංකා රක්ෂණය ගිය වසරේ ලාභය බිලියන 10යි. ආසන්න වශයෙන් දිනකට මිලියන 300ක් ලාභ ලබනවා. ලංකා හොස්පිට්ල් ගිය වසරේ ලාභය මිලියන 2200යි. ශ්‍රී ලංකා ටෙලිකොම් ගිය වසරේ ලාභය මිලියන 8000යි. ලිට්ට්‍රෝ ගෑස්, හිල්ටන් හොටෙල්, වෝටර්ස් ඒජ් හොටෙල් එක. මේ විකිණීම, ණය ගැනීම, ආර්ථිකය සංවර්ධනය වෙන මාවත නම්, අපේ රට ගොඩනැගී තිබෙන්න ඕනේ. ණය ගැනීමෙන්, විකිණීමෙන්, අපේ රටේ ආර්ථිකය ගොඩනොයන බවට ඔප්පු වී අවසන්. මේ විකුණන්නේ ආර්ථික සැලැස්මක් අනුව නොවෙයි. 2022 නොවැම්බර් මාසයේ රනිල් වික්‍රමසිංහ අයවැය ඉදිරිපත් කරමින් විදෙස් සංචිත ශක්තිමත් කර ගැනීමට මේවා විකිණිය යුතු බව කිවුවා. එයාට වරාය, වෙළර තීරය, බලාගාර, තෙල් ටැංකි සංකීර්ණය ජාතික සම්පත් නෙමෙයි. වෙරළක් අයිති නැති, තෙල් ටැංකි අයිති නැති, වරාය අයිති නැති, බලාගාර අයිති නැති රට රටක්ද? අපි යළි යළිත් අවුරුදු 40කට වැඩි කාලයක් මේ එකම ප්‍රතිපත්තියේ – විකිණීමේ මාවතෙත් ණය ගැනීමේ මාවතෙත් අපි ගමන් කළා. අවසන් ප්‍රතිඵලය සිදුවෙලා තිබෙන්නේ මොකක්ද? තරුණයන්ට රැකියාවක සොයා ගන්න බැරි රටක්, දරුවාට අභ්‍යාස පොත නිර්මාණය කර ගන්න බැරි රටක්, දරුවට හරිහමන් ආහාර වේලක දෙන්න බැරි රටක්, ගැබිණි මාතාවට පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්න බැරි රටක්. ඒ නිසා අපිට වගකීමක් තිබෙනවා, මේ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියට වෙනස් නව ආර්ථික ප්‍රතිපත්තියක් අපේ රටට ගේන්න. ජාතික ජන බලවේගය අන්න ඒ නව හැරවුමට සූදානම්. මේ අර්බුද නිර්මාණය කළේ ආර්ථික ප්‍රතිපත්තිය විතරක්ම නොවෙයි. මේ අර්බුදය නිර්මාණය කළේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය. ඇමති පුටුවේ වාඩි වෙන්නේ අද කීයක් සොයනවාද යන අදහසින්. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරන, නාස්ති කරන, අවභාවිතාවේ යොදවන පාලක කණ්ඩායමක් අපේ රටේ ඉන්නවා. ඒගොල්ලෝ හා බැඳුණු චෞර වළල්ලක් ඉන්නවා. ජනතාව මරණයේ එළිපත්තේ කම්පනයෙන් සිටින වෙලාවකදිත් ඒවායින් හොරකම් කරන්න පුළුවන් පාලකයෝ පාලකයන්ද? මේ අර්බුදයේ ප්‍රධාන පංගුව මෙ දේශපාලන සංස්කෘතියයි. මෙය වෙනස් කළ යුතුයි. වංචාව, දූෂණය, අවනීතිය කේන්ද්‍ර කරගත් දේශපාලනයෙන් තොර, නීතියට යටත් වෙන නව දේශපාලනයක් ස්ථාපිත කරනවා. එය කරන්නේ ජාතික ජන බලවේගයේ අපි බවට ඔබට තහවුරුවක් දෙනවා. අපි කොරියාවෙ ඔබ හමුවට ආවේ ඔබට ආරාධනා කරන්නයි. ඔබේ සිතේ පැලපදියම් වී තිබෙන සිහින, අපේක්ෂාවන්, බලාපොරොත්තු, අරමුණු ඉටුකර ගැනීම සඳහා නව පාලනයක් අපි ගොඩනඟනවා. ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගය ශක්තිමත් කරන්න එකතු වෙන්න කියා ආරාධනා කරනවා. අපේ රට අවුරුදු 75කට ආසන්න කාලයක් පාලනය කළේ පවුල් කිහිපයක්. බණ්ඩාරනායක පරපුර වසර 24ක් පාලනය කළා. සේනානායක පවුල අවුරුදු 17ක්, රාජපක්ෂ පවුල වසර 13ක් පාලනය කළා. අවුරුදු 75ක් පුරා රට පාලනය කරන්නේ දූෂිත, ත්‍රාඩ, ප්‍රභූ යැයි ආරූඨ කරගත් පවුල් පහක්. ප්‍රාදේශයව ගියත් එහෙමයි. මාතලේට ගියොත් කවිරත්න, ජනක බණ්ඩාරලා, අළුවිහාරෙලා, ගම්පහට ගියොත් රණතුංගලා, ජයවර්ධනලා, රාජකරුණලා, අනුරාධපුරයට ගියොත් අධිකාරිලා, මහින්ද සෝමලා, සේමසිංහලා පවුල් කිහිපයක්. ඒ නිසා කොච්චර ආණ්ඩු පෙරළුවත්, කොච්චර නායකයෝ ගෙනාවත් මේ උඩ දේශපාලන තන්ත්‍රය හැදිලා තිබෙන්නේ උඩම පවුල් පහකින් හා යට තව පවුල් කිහිපයකින්. දැන් ජාතික ජන බලවේගය අතට බලය මාරු වෙනවා කියන්නේ රනිල් වික්‍රමසිංහගේ හා රාජපක්ෂලාගේ බලය පමණක් නොවෙයි ගිලිහෙන්නේ. අනාගතය සඳහා ඔවුන් සකස් කර තිබෙන සිතියමත් ගිලිහෙනවා. ඒ නිසා මේගොල්ලෝ ලේසියෙන් බලය අත්හරින්නේ නැහැ. එ වගේම ඒ ගොල්ලන් වටා සිටින චෞර ව්‍යාපාර බල ව්‍යාපෘතියක සිටිනවා.
අපේ රටේ ව්‍යාපාරවලට ප්‍රවිෂ්ට වීමට හැකියාව තිබෙන්නේ ඇමතිවරයාගේ සබඳතාවයක් තිබේ නම් පමණයි. උදාහරණයක් ලෙසට පාරට බස් එකක් දාන්න එක්කෝ ඇමතිවරයාට ගාණක් දිය යුතුයි. එක්කෝ ඇමතිවරයා හඳුනන්න ඕනෑ. ඔබ වගාවක් කරන්න ඉඩමක් සොයනවා නම් පුරවැසියාට ඒ සඳහා අවස්ථාවක් හිමි වන්නේ නැහැ. ඉඩම් ඇමති හා ඒ වටා සිටින චෞර වළල්ලකට පමණයි එම හැකියාව තිබෙන්නේ. ඉඩම් භුක්ති විඳින්නේ ඇමතිවරයා සහ එයත් සමග සිටින චෞර වළල්ලක්. මෙහෙමයි මේ පාලන ව්‍යුහ හැදෙන්නේ. මෙයින් පෙනෙන්නේ අපෙ රටේ පුරවැසියාට ව්‍යාපාරයකට ප්‍රවිශ්ට වීමට සාධාරණ අයිතියක් නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැදෙනවා කියන්නේ මොකක්ද? චෞර කණ්ඩායමක් අතේ තිබෙන රටේ ආර්ථිකය සෑම ආයෝජකයෙකුටම, සෑම සාධාරණ ව්‍යවසායකයෙකුටම සාධාරණ ලෙස මැදිහත් වීමට හැකි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කරනවා. ඒ වගේම මෙ චෞර කණ්ඩායමට රාජ්‍ය නිලධාරීන් සුළු පිරිසකුත් සම්බන්ධ වෙනවා. ඒගොල්ලෝ බලවත්. විදුලි බල මණ්ඩලයේ, පෙට්ට්‍රෝලියම් එකේ, එහෙම අය හිටියා. ජාතික ජන බලවේගයේ පාලනයකදී රජයේ සෑම නිලධාරියෙකුටම තමන්ගේ හැකියාව සහ දක්ෂතාවය මත රජයේ ඉතාමත් බලගතු තැන් මෙහෙයවීම සඳහා අයිතිය ලැබෙනවා. මේ නිසා එයාලා ලේසියෙන් අත්හරින්නේ නැති බව අපි දන්නවා. අපට ගොඩනැගීමට තිබෙන්නේ මේ පාලකයන් විසින් මේ තත්වයට කඩා වට්ටවා තිබෙන රටක්. ඔවුන්ට ලෝකයේ නව තත්වයන්ට අනුරූප වන පරිදි රට අවතීර්ණ කරවන්න බැරිවෙලා තිබෙනවා. මේ රට ලෝකයේ ඇගයීමට, ගෞරවයට පාත්‍ර වන තත්වයට ගොඩනගන්න ඕනෑ. ඒ වෙනුවෙන් ගොඩක් වැඩ කරන්න ඕනෑ. නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක වන රටක් ගොඩනගන්න ඕනෑ. ශිෂ්ට සමාජයක් ගොඩනැගීමේ නීතියේ විධානය, ආධිපත්‍යය පිළිබඳව පොදු ජනතාවගේ විශ්වාසයක් ගොඩනැගුණොත් පමණයි. අපේ රටේ තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඉලක්ක කරගත් පාලනයක් අපි ගොඩනගනවා. ලෝකයේ තව අවුරුදු 10කින් 15කින් වෙළඳපොළට අවශ්‍ය භාණ්ඩ මොනවාද යන්න ගැන පරීක්ෂණ කර තිබෙනවා. එහෙත් අපි තවමත් තේ, පොල්, රබර් ගැන සිතමින් ඉන්නවා. දැවැන්ත කර්මාන්ත ඒ හා සම්බන්ධ නිෂ්පාදන ජාලයක් හැදෙන්න ඕනෑ. දැවැන්ත ව්‍යවසායකයෝ හැදෙන්න ඕනෑ. ඔබේ දැනුම, ඥානය, හැකියාව පාවිච්චි කර මාතෘ භූමිය ගොඩනගන්නේ කෙසේද? ඒවා අපේ ආර්ථිකයට උපයෝගී කර ගන්නේ කෙසේද? අන්න ඒ සඳහා ජාතික සැලැස්මක් හදන්න ජාතික ජන බලවේගය සූදානම්. අපේ අනාගත පරම්පරාව ලෝකයට හුදු ශ්‍රමිකයන් වෙනුවට ලෝකයට අවශ්‍ය වෘත්තීයවේදීන් බිහිකරන රටක් බවට පත් කළ යුතුයි. ලෝකයේ නව වෙළඳපොළට අවශ්‍ය වන දියුණු ශ්‍රමිකයන් නිර්මාණය කළ යුතුයි. අපි ලෝකයට අවශ්‍ය දැනුම සහිත වෘත්තීයවේදීන් බිහිකරන ආණ්ඩුවක් හදනවා. අපි ඔක්කෝම වෙහෙසෙමු. මහන්සි වෙමු. අපි විඳින දුක අපේ දරුවන්ට අත්පත් නොවන රටක් අපි හදමු යැයි අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.