27 April 2024
#දේශීය

අපට අවශ්‍ය දැනුවත්ව, සැලසුම් සහගතව සමාජය පරිවර්තනය කරන තරුණ පරම්පරාවක් – මන්ත්‍රී අනුර දිසානායක

අද අපට අවශ්‍යයි, විචක්ෂණශීලී, ගවේෂණශීලී, සත්‍යගරුක, යුක්තිගරුක තරුණ පරම්පරාවක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) ‘චේ’ සැමරුම, විහාර මහාදේවි එළිමහන් රංග පීඨය පැවැති අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අනුර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය “ මේ රැස්වී සිටින දහස් සංඛ්‍යාත තරුණ පිරිස දෙස බලන විට අපට පෙනෙන්නේ අනාගතය ගැන බියක් නැති බවයි. ඒ අපට දැනෙන දේ. නමුත් පාලකයන්ට දැනෙන්නේ වර්තමානයද බියජනක බවයි. අපි පැමිණ සිටින්නේ 1928දී ආජන්ටිනාවේදී උපත ලැබ, 1956දී ග්‍රැන්මා බෝට්ටුවෙන් කියුබාවට පැමිණි, 1959දි කියුබානු ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරනු ලැබූ, 1967දී බොලියාවේ ඒකාධිපති පාලනයට විරුද්ධව ඒ ජනතාවත් සමග එකට සටන් වැදුණු එක්සත් ජනපදය ඇතුළු ප්‍රතිගාමීන් විසින් ඝාතනය කරනු ලැබූ ‘චේ’ පිළිබඳව සමරන්නයි. දේශපාලන සංකල්ප ලෝකයේත්, පොතපතේත් තිබෙනවා. මූලික වශයෙන් දේශපාලනය කියන්නේ භාවිතයයි. යථාර්ථය ඉතා හොඳින් ග්‍රහණය කර ගනිමින්, ඉතා පැහැදිලි ඥානයකින් අවශෝෂණය කර ගනිමින් වර්තමානයේ දේශපාලනය ව්‍යවහාරයක්, භාවිතයක් බවට ජාතික ජන බලවේගයේ අපි පත්කර තිබෙනවා. ‘චේ’ යනු සටන් නායකයෙක්, ගරිල්ලා නායකයෙක්, විලාසිතාවක්, සදාතනික තාරුණ්‍යය, කියුබාවේ ජාතික බැංකු අධ්‍යක්ෂවරයා, කියුබාවේ කර්මාන්ත අමාත්‍යවරයා, බොලීවියාවේදී ගෝලීය ප්‍රතිගාමීන් විසින් ඝාතනය කරනු ලැබූ සටන්කාමියා. අපට චේ යනු එක යුගයකදී ගෝලීය ප්‍රතිගාමිත්වය බියට පත්කරන ලද ව්‍යවහාරයක්, භාවිතයක්. ශක්තිමත් සමාජවාදී කඳවුරක් හා ධනවාදී කඳවුරක් ලෙස ලෝකය තිව්‍ර ලෙස බෙදෙමින් තිබු යුගයක්. ඔහු ඒ යුගයේ විශිෂ්ටතම දේශපාලකයෙක්. අධිරාජ්‍යවාදය විසින් ලෝකය පුරා රටවල් සූරාකෑමට භාජනය කර ගනිමින්, යුද්ධය අපනයනය කරමින් තිබුණා. ලෝකයේ පරිධියේ රාජ්‍යයන්ගෙන් ඔවුනට හිතවාදී ඒකාධිපති පාලනයක් ගොඩනඟමින් තිබුණා. ගෝලීය ප්‍රතිගාමිත්වය විසින් හමුදා පාලනයන් ගොඩනඟමින් ජනතාව පීඩාවට පත්කිරීමට ආශීර්වාද කරමින් අනුබල දෙමින් සිටියා. එවන් ප්‍රතිගාමිත්වය බියට පත්කරන ලද භාවිතය තමයි ‘චේ’.

අද කියුබානු ජනතාව සමාජවාදී ජයග්‍රහණ රැසක් ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ජනතාවගේ ජීවිතය ඉතා උසස් ලෙස අත්පත් කරගනිමින් ඉදිරියට යමින් තිබියදී ප්‍රතිගාමිත්වය විසින් සම්බාධක පනවමින් රට තුළ විවිධ ප්‍රතිගාමී කණ්ඩායම් ගොඩනගමින් තිබෙනවා. එදා රළුයි, බිහිසුණුයි. අද සෞම්‍යයි, එහෙත් බිහිසුණුයි, උපක්‍රමශීලීයි. එදා ප්‍රතිගාමිත්වය ප්‍රජාතන්ත්‍රවාදය කියන ලේබල්වලට මුවා වෙමින් රටවල් ආක්‍රමණය කළා. ඒ ප්‍රතිගාමිත්වය විසින් ප්‍රජාතන්ත්‍රවාදය අකුළන ඒකාධිපති පාලනයන් ගොඩනඟමින් ආශීර්වාද කළා. අද අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන, මානව හිමිකම් ගැන ලෝකයට දේශනා දෙන පාලකයන් ලංකාවේ ඡන්ද කල්දාන කොට කතාවක් නැහැ. ජනතාවට තොරතුරු ගලායාමේ සාධාරණ අයිතිය උල්ලංඝනය කිරීම සඳහා පනත් ගේනකොට, ඔවුන් ආශීර්වාදය කරනවා. ගොවි ජනතාවට තමන්ගේ ගොවිබිම් ආරක්ෂා කර ගැනීමේ අයිතිය, තරුණයාට තමන්ගේ අනාගතය වෙනුවෙන් ස්ථාවරත්වයක් අත්පත් කර ගැනීම වෙනුවෙන් සටන් කිරීමේ අයිතිය, මාධ්‍යවේදියාට ලියන්න තිබෙන අයිතිය, පුරවැසියාට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය, උද්ඝෝෂණය කිරීමේ අයිතිය උල්ලංඝනය කරන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා. අපට නව ව්‍යවහාරයක්, නව භාවිතයක් අවශ්‍ය නැද්ද? සමාජවාදී තරුණ සංගමය එය චේගේ සටන්කාමිත්වයෙන් උකහාගත යුතුයි. ඔහු අසම්මුතිකාමී සටන්කරුවෙක්. බැටිස්ටාගේ පාලනය පලවා හැරීමත්, කියුබාව ගොඩනැගීමේ සම්මුතියක් පමණක් නොවෙයි ඔහුට තිබුණේ. ඔහු සීමා මායිම් සහිත සටන්කරුවෙක් වුණේ නැහැ. බොලීවියාවේ හමුදා ආණ්ඩුවෙන්, ඒකාධිපති වියරුවෙන් පීඩාවට පත්වී සිටි ජනතාව වෙනුවෙන් ඔහුගේ මෙහෙය ඉටුකිරීමට යනවා. ඔහුගේ සම්මුතිය වූයේ අවසන් ජය්‍රහණයයි.

පසුගිය වසරේ ගෝඨාභයගේ පාලනය පලවා හැරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බැස්සා. තරුණ පරම්පරාව තමන්ගේ ජීවිතය, තමන්ගේ අනාගතය උදුරා ගැනීමට එරෙහිව, දෙමව්පියන් තමන්ගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් පාරට බැස්සා. ලංකාවේ පළමු වතාවට ජනතාවගේ අරගලයකින් ජනාධිපති ගෝඨාභය පළවා හැරියා. අනතුරුව රනිල් ජනාධිපති බවට පත්වුණා. සම්මුතිකාමින්ට එතනින් වැඩේ සමාප්තයි. සමහරු පසුව රනිල් වික්‍රමසිංහගේ ගුණ වර්ණනා කිරීමට පටන් ගත්තා. අද අපට අවශ්‍ය වි තිබෙන්නේ සම්මුතිකාමී සටන්කරුවන් නොවෙයි, අවසන් ජයග්‍රහණය තෙක් සටන් කරන සටන්කරුවෙක්. චේ යනු දුෂ්කර අසම්මුතිකාරී සටන්කරුවෙක්. සමාජවාදී තරුණ සංගමය ‘චේ’ගේ ව්‍යවහාරයන් උකහා ගන්නවා. අපට වර්තමානයේ අවශ්‍ය වෙන්නේ අවසන් ජයග්‍රහණය බලා යන සටන්කරුවෙක්. ‘චේ’ යනු දුෂ්කරතම යථාර්ථයන් තුළ – ‘චේ සහ කැස්ත්‍රෝ’ ඇතුළු ඉතා කුඩා සන්නද්ධ කණ්ඩායමක් ලෙස බැටිස්ටාගේ නිල වශයෙන් පිහිටුවාගෙන තිබෙන, ගෝලීය ප්‍රතිගාමිත්වයේ උදව් උපකාර ලැබෙන හමුදා යාන්ත්‍රණයත් එක්ක ජයග්‍රහණය දක්වා සටන් කිරීම – කටයුතු කිරීමට සූදානම් අයෙක්.

අද අපි හමුවේ තිබෙන්නෙ කුමක්ද? අපේ රටේ තිබෙන්නේත් දුෂ්කරතම යථාර්ථයක්. දීර්ඝ කාලයක් පාලනය බලය හොබවපු, මහා ධනය, බලය එක්රැස් කරගත්, මාධ්‍ය, පාතාලය, රාජ්‍ය යාන්ත්‍රණය, උපයෝගී කර ගන්නා පාලන කණ්ඩායමක් සිටිනවා. හැබැයි මේ දුෂ්කර යථාර්ථය තුළ අවස්ථාවකුත් තිබෙනවා. මේක සුමට තත්වයක් නොවෙයි. මේ පාලක කණ්ඩායම් තමනගේ බලය අවසානය දක්වා ආරක්ෂා කර ගැනීමේ වුවමනාවෙන් නැවත නැවත අලුත් දුෂ්කර තත්වයන් ඇති කරන යථාර්ථයක්. සුමට තත්වයේදි ඡන්ද පවත්වනවා. දුෂ්කර යථාර්ථයේදි ඡන්ද කැන්සල් කරනවා. සුමට යථාර්ථයේදී, ලබන වසරේ අගෝස්තු මාසයේදි අනිවාර්යයෙන් ඡන්දය කැඳවිය යුතුයි. දුෂ්කර යථාර්ථයේදි එය වෙනස් කිරීමට උත්සාහ ගන්නවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට උත්සාහ කරනවා. මේක දුෂ්කර යථාර්ථයක්. ජනතාව හමුවට ගොස් විවිධ පොරොන්දු, බලාපොරොත්තු ලබාදීමට උත්සාහ ගන්නවා. අපට චේ පෙන්වා දුන්නේ මොකක්ද? දුෂ්කර යථාර්ථයක් තුළදී පවා ජයග්‍රහණය දක්වා අවස්ථාවක් තිබේ නම් අත්නොහැරිය යුතු බවයි.

මේ දුෂ්කර තත්වයන් යටතේ අපට ජයග්‍රහණය සඳහා අවස්ථාවන් නැද්ද? මේ රටේ පාලක කණ්ඩායම් පළවා හැරීම සඳහා අපට ජයග්‍රහණය සඳහා අවස්ථාවන් තිබෙනවා. මේ උද්‍යානයට පැමිණි දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් අපට පෙන්නුම් කරන්නේ ජයග්‍රහණය සඳහා තිබෙන බලාපොරොත්තුව සහ අපේක්ෂාවයි. අද ජාතික ජන බලවේගය රටේ සෑම තැනකම අක්මුල් විහිදුණු ව්‍යාපාරයක් බවට පත්වී තිබීම ජයග්‍රහණය පිළිබඳ අවස්ථාවක්. අප මේ දුෂ්කර තත්වයන් තුළ ලැබී තිබෙන අවස්ථාව මනා ලෙස කළමනාකරණය කොට ජයග්‍රහණය සඳහා මෙහෙය විය යුතුයි. මේ තරුණ ඔබේ දෙවුර මත අත් නොහැරිය යුතු වගකීමක් තිබෙනවා. ඔබ කෙරෙහි තබා තිබෙන විශ්වාසය නියත වශයෙන්ම ජයග්‍රහණය යථාර්ථයක් බවට පත්කරාවි යන විශ්වාසය අප තුළ තිබෙනවා.
අපට තිබෙන්නෙ චේ පිළිබඳව සංකේත නාම නොවෙයි. ‘චේ’ යනු මානවවාදය පිළිබඳ භාවිතයක්; ව්‍යවහාරයක්. උතුරු ආර්ජන්ටිනාවේ ඉපදී, එහිදී අතිශය දුෂ්කර ගම්මානවල ජීවිතවල අත්දැකීම් ලද ඔහු, චිලියේදී පතල් කර්මාන්තයේ නියැලුණු කම්කරුවන්ගේ වේදනාව දැක අත්දැකීම් ලද ඔහු, පේරු රාජ්‍යයේදී විශාල ඉඩම් හිමියන්ගේ බලපෑමට යටත් වී පීඩාවට පත්වූ ගොවීන්ගේ දුක උකහාගත් ඔහු, ගෝතමාලාවේ 1951 ජාකෝ ආබෙන්ස්ගේ ආණ්ඩුවේ ජනතාවාදී ප්‍රතිසංස්කරණ 1954දී කුමන්ත්‍රණකාරී ලෙස ආපසු හැරවීමේ අත්දැකීම් ලැබූ ඔහු මේ විනාශකාරී පාලනයන් බිඳවැට්ටීම තමයි මේ සඳහා විසඳුම බව ඔහු තීරණය කළා. පාලනයන් වෙනස් කිරීම සඳහා මානවවාදී භාවිතාවන්, ව්‍යවහාරයන් උපයොගී කරගත්, මිනිසුන් පිළිබඳව සහකම්පනයක් තිබූ පුරවැසියෙක් ‘චේ’.
1965 ඔක්තෝබර් මස 03වන දින චේ විසින් ෆිදෙල් කස්ත්‍රෝ වෙත ලිපියක් එවා තිබුණා. මෙහි සඳහන් වුණේ කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ තමා දැරූ සියලු තනතුරුවලින් සමුගන්නා බවයි. “දැන් මාගේ සේවය මේ ලෝකයේ වෙසෙන තවත් පිරිසකට ලබාදීමට කාලය උදාවී ඇත. කියුබාව සම්බන්ධ සියලු වගකීම් ඉතා හොඳින් සිදුකරන නිසා මට ඔබගෙන්ද ඔබ රටෙන්ද සමුගෙන යාමට අපහසුවක් නැත. දැන් අපට උදාවී ඇත්තේ වෙන්වීමට කාලයයි” එම ලිපියේ චේ සඳහන් කර තිබුණා.

අපේ රටේ මිනිසුන් සෑම ආකාරයකින්ම මියැදෙනවා. අලියා ගහලා, ගමන් කරන බසයට ගස් කඩා වැටිලා, ප්‍රපාතයට බස් පෙරළීමෙන්, මිනිසුන් මියැදෙනවා. කුඩු මත්ද්‍රව්‍යවලට බිලිවුණු තරුණ ජීවිත දිනපතා මියැදෙමින් තිබෙනවා. පිළිකා ලෙඩ්ඩු අවශ්‍ය ඉන්ජෙක්ෂන් නොමැතිවීමෙන් දෛනිකව මරණය කරා ළඟාවෙමින් සිටිනවා. රෝහලේදි බෙහෙත් නොමැති වීමෙන් හා බාල බෙහෙත් නිසා මිනිසුන් මියැදෙනවා. ආහාර නොමැති නිසා මිනිසුන් මියැදෙනවා. මේවාට මුහුණ දෙන අපට සහකම්පනයක් නැතිද? චේගෙන් උකහා ගන්නේ මානවවාදයේ ව්‍යවහාරය නම්, ඒ අත්දැකීම අප උකහා ගත යුතුයි. මේ පාලකයන්ට මේ ආකාරයෙන් රට ගෙනයාම සඳහා කිසිදු අවස්ථාවක් අප ලබානොදිය යුතුයි. ගතවෙන පැයක්, දිනයක්, සතියක්, ප්‍රතිගාමිත්වයේ පාලනය කෙටි කිරීමේ ව්‍යායාමයකට, අවසන් කිරීමේ ව්‍යායාමයකට අපි නිරත විය යුතු නැතිද? මේ වෙනස් කිරීමේ විශාලම කාර්යභාරය පැවරී තිබෙන්නේ තරුණ පරම්පරාවටයි.

චේ තරුණයන් වෙත මෙසේ කියනවා. “තරුණයන් සිතිය යුත්තේ, ක්‍රියාත්මක විය යුත්තේ බහුජනතාවක් ලෙසයි. තනි තනි ලෙස පුද්ගලයන් ලෙස සිතීම අපරාධයකි. සියල්ලටම වඩා ලොව කොතැනක හෝ පුද්ගලයෙකුට එරෙහිව සිදුවන යම් අසාධාරණයක් පිළිබඳව ගැඹුරු හැඟීමක් තරුණයෙකුට ඇති විය යුතුයි.” අපේ අධ්‍යාපනය, ආර්ථිකය, සමාජ බැඳීම්වලින් මේ ගනුදෙනුවෙන් තනි තනිවම මේ කඩුල්ල පන්නන්න සෑම කෙනෙක්ම පොළඹවනවා. අද පලස්තීන ජනතාවට, යුක්රේන ජනතාව හසුවී ඇති තත්වය ගැන, කියුබාවේ ජනතාවට ඇති කර තිබෙන දුෂ්කරතාවයන් පිළිබඳව කම්පනයක් අපට ඇති විය යුතුයි.

අපට මේ සමාජය වෙනස් කිරීමට නිශ්චිත කාර්යයන් දෙකක් තිබෙනවා. මේ පාලකයන් පලවා හැර රටේ ජනතාවට ආදර්ශමත් පාලනයක් ගොඩනැගිය යුතුයි. මේ සමාජයේ ගතානුගතික, සාම්ප්‍රදායික අගතීන්වලින් මේ සමාජය අපි නිදහස් කර ගත යුතුයි. පසුගිය දශක දෙක ලෝකයේ විද්‍යාව හා තාක්ෂණයෙන් මහා දැනුමෙන් වෙනස්කම් රැසක් සිදුවු යුගයක්. ඒ යුගයේදිත් පොළොව දෙබෑකරගෙන සුබ පණිවිඩ ගෙන එන නාගයෙක් හා කාලිඅම්මා ආරූඪ වූ තැනැත්තා ලෙඩ සුවකිරීමට දෙන බෙහෙත් විශ්වාස කරන ජනතාවක්. ඇඳුම් ඇඳීමෙන්, කොත්තු කැමෙන් වඳ වෙන බව පිළිගන්නා ජනතාවක්, මේ මිථ්‍යාවල ගිලී තිබෙන සමාජය මේ අගතීන්ගෙන් මුදා ගත යුතුයි. අනාගතය පිළිබඳව පැහැදිලි චිත්‍රයක්, නවීනත්වයක්, නියෝජනය කරන සමාජයක් බවට ආකල්පමය පරිවර්තනය කිරීමේ වගකීම මේ තරුණ පරම්පරාවට පැවරී තිබෙනවා.

සමාජයක් කියන්නේ මිනිස් චලන සමූහයක්. සමාජයක් නීතිවලින්, රීතිවලින් හා සම්ප්‍රදායන්ගෙන් පවතිනවා. මිනිස් සමාජයක් කියන්නේ යන්ත්‍ර සූත්‍ර නොවෙයි. මිනිස් සමාජයක් යනු සාමූහික ක්‍රියාකාරිත්වයක්. සමහර සම්ප්‍රදායන් අගතීන් විය හැකියි. ඒවා බිඳ වැට්ටිය හැක්කේ කෙසේද? සම්ප්‍රදායන්, රීතීන්, බැඳීම් සමාජයේ අනෙක් සාධක සමගද පරිවර්තනය විය යුත්තක් මිසක් කම්පියුටරයක දත්ත වගෙ සම්ප්‍රදායන් මැකිය නොහැකියි. කම්පියුටරයක දත්ත වගේ මිනිස් ඇදහිලි, විශ්වාස මැකිය නොහැකියි. නූතන තාරුණ්‍යය පැති දෙකකින් ක්‍රියාත්මක වෙනවා. සාම්ප්‍රදායික, එක පැත්තකින් අගතීන්වල ගොදුරක් බවට පත්වු තරුණයා. අනෙක් පැත්තෙන් ඒ අගතීන් ප්‍රචණ්ඩකාරී ලෙස, ප්‍රශ්න කරන තරුණයා. අප නියෝජනය කරන්නේ ඒ තරුණයා නොවෙයි.

අපට අවශ්‍ය ඉතාමත් දැනුවත්ව, සැලසුම් සහගතව මේ සමාජය පරිවර්තනය කිරීම සඳහා වෙහෙස වෙන නව තරුණ පරම්පරාවක්. රැඩිකල්භාවය කියන්නේ, සටන්කාමිත්වය කියන්නේ දකින දකින දේ පොඩිපට්ටම් කිරීම නොවෙයි. රැඩ්කල්භාවය කියන්නේ තිබෙන තැනින් නවීනත්වය කරා සමාජය ගෙනයාම. ඒ නිසා තමයි “නවීන ශ්‍රී ලංකාවක්” යන සටන් පාඨය සමාජවාදී තරුණ සංගමයේ සටන් පාඨය වී තිබෙන්නේ. අපට අවශ්‍ය නවීන සමාජයක්. එම සමාජයේ හැරවුම් ලක්ෂය, පෙරගමන්කරු විය යුත්තේ මෙතනට රැස්වී සිටින තරුණ පරම්පරාවයි. අපට අවශ්‍ය වන්නේ ආකල්පමය වශයෙන් පරිවර්තනයක් පමණක් නොවෙයි; සාධාරණ, යුක්තිසහගත මිනිස් ක්‍රියාකාරිත්වයක් අපට අවශ්‍යයි. සාධාරණය, යුක්තිය පිළිබඳව තමන්ගේ හදවත් තුළ කම්පනයක් ඇතිවෙන තරුණ පරපුරක් අපට අවශ්‍යයි. කම්පනයෙන් ඇති කරන සහකම්පනය කෙනෙක් ක්‍රියාකාරිත්වය කැඳවන එන්ජින් එක බවට පත්වෙන්න ඕනෑ. සහකම්පනය ඇති කරගෙන මේ රටේ ඉඳලා වැඩක් නැහැ කියා පැන යන්නත්, සහකම්පනය ඇති කරගෙන නිදාගන්නත් පුළුවන්. සහකම්පනය ඇති කරගෙන තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නත් පුළුවන්. ඇති වෙන සහකම්පනය මේ පොදු මිනිස් සමාජයට අලුත් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ස්ථිර අධිෂ්ඨානයක් සහිත ක්‍රියාකාරිත්වයක් සහිත එන්ජින් එක බවට පත්කර ගන්න ඕනෑ.

ඒ වගේම අපට අවශ්‍යයි හොඳ පාලනයක්. අපේ පාලකයන් කවුද? ඉතාමත් ගර්හිත, සාම්ප්‍රදායික, වැඩවසම්වාදී, පාලකයෝ මේ. ජනාධිපතිගේ පුතෙකුගේ මඟුල් ගෙදර ලයිට් බිල ලක්ෂ 26ක් නම් අනෙක්වා කෙසේ වෙයිද? මේ මජර කැත ජීවිත. මේවා මහජනයාගේ ධනයෙන් දෝවන වන කිලිටි, ජරාජීර්ණ ජීවිත. රටේ ධනය, රටේ සම්පත් සියල්ල මේ පාලකයන්ගේ කුණු ජීවිත වෙනුවෙන් පොදිගහගෙන තිබෙනවා. ජනතාවත් එක්ක උරෙන් උර ගැටී, ජනතාවගේ වේදනාව තමන්ගේ වේදනාව ලෙස දැනෙන නව නූතන දේශපාලන සංස්කෘතියක් මේ මව්බිමට අවශ්‍යයි. මේ දේශපාලනය වෙනස් කිරීම සඳහා අපේ තරුණ පරම්පරාව ක්‍රියාකාරී වෙන්න ඕනෑ.

ලෝකයේ විශාල පරිවර්තනයන්හිදී විශාල වැඩ කොටසක් කරන්නේ තරුණයන්. එදා බමුණු කුලයේ පීඩනයට එරෙහිව මානව ප්‍රජාවගේ හිතසුව පිණිස සිදුහත් කුමාරයා ගිහිගෙයින් නික්ම යන්නේ වයස අවුරුදු 29දී. ‘ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ සුප්‍රසිද්ධ ‘කන්ද උඩ දේශනය’ පවත්වන්නේ අවුරුදු 30දි. මාක් සකර්බර්ග් ෆේස් බුක් ඇප් එක සොයා ගන්නේ අවුරුදු 20දී. ගූගල් එක නිර්මාණය කරන සර්ජි බි්‍රන් සහ ලැරී පේජ් ඒක කරන්නේ අවුරුදු 25දී. ‘චේ’ කියුබාවට යන්නේ අවුරුදු 28දී. ‘රෝහණ’ සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණ ගොඩනඟන්නේ අවුරුදු 22දී. ලෝකයේ විශාල හැරවුම් විශාල පරිවර්තනයන් පණපොවන්නේ, මුල පුරන්නේ කවුද? තරුණ පරම්පරාව.
විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භ කළ අති පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමිපාණන් වහන්සේ මෙසේ දේශනයක් කළා.“විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විප්ලවකාරී විය යුතුයි. එහෙත් ඥානාන්විතව ක්‍රියාත්මක විය යුතුයි. විචක්ෂණශීලී විය යුතුයි. ගවේෂණශීලී විය යුතුයි. එහෙත් හැම තැනකදීම සත්‍යගරුක විය යුතුයි. යුක්තිගරුක විය යුතුයි. බුද්ධිමත් විය යුතුයි. ශිෂ්ටසම්පන්න විය යුතුයි.” සෝරත හිමියන් දේශනා කළේ මෙහෙමයි. ඒ නිසා අද අපට අවශ්‍යයි, විචක්ෂණශීලී, ගවේෂණශීලී, සත්‍යගරුක, යුක්තිගරුක තරුණයෙක්. එහෙම තරුණ පරම්පරාව තමයි ලෝකයේ විශාල පරිවර්තනයන් ඇති කළේ.

එදා ෆිදෙල් සහෝදරයා 1992 දි ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ඔලිම්පික් උළෙලට කියුබානු කණ්ඩායමක් යැව්වා. ඔහු ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමතා මෙහෙම කිවුවා. “ඔබ දැන් බාසිලෝනා බලා යනවා. ඔබ බලවත් අභිමානයකින් සහ බලවත් උනන්දුවකින් තරග වදිනු ඇතැයිද ඔබ ඔබේ උපරිමය කරනු ඇතැයිද මම විශ්වාස කරනවා. බේස්බෝල් ක්‍රීඩක ලිනරේස් පැවසුවේ ඔබලා පළමු දහ දෙනා අතර සිටිනු ඇති බවයි. ඔව්, එය පහසු ඉලක්කයක්. මම බලාපොරොත්තු වන්නේ ඔබලා ඔබේ ඉලක්කයට වඩා හොඳින් කරනු ඇති බවයි. එසේ වුවහොත් ඔබලා සිටින්නේ පළමු නව දෙනා අතරයි. පුළුවන් වුවහොත් පළමු අට දෙනා අතරයි. ඔබට පුළුවන්නම් පළමු හත අතරට යන්න. ඔබට හැකිනම් එසේ කළ හැකියි. එය බැඳීමක් විය යුතු නැහැ. ඔබලා තමන්ගේ උපරිමයෙන් කරනු ඇති බව මට විශ්වාසයි.” බාර්සිලෝනා ඔලිම්පික් උළෙලේදී කියුබාව පස්වෙනි ස්ථානය ලැබුවා. අපිත් ඔබට කියන්නේ ඔබට ඉලක්කයන් තිබෙනවා. මේ පාලකයන් ඉතා කෙටි කාලයකදී පළවා හැරිය හැකියි. ඔබ වැඩ කරන්න. එය බැඳීමක් විය යුතු නැහැ. ඔබ අප අතර ගිවිසුමක් නැහැ. ඔබලා තමන්ගේ උපරිමයෙන් කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.” ඔබගේ ගමේ, ඔබගේ ක්ෂේත්‍රය ඇතුලේ, ඔබගේ සමාජය ඇතුලේ ජනතාව දැනුවත් කරමින් උපරිමයෙන් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා යැයි අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *