වැලිගම නගරයේ පිහිටි රජයේ ‘සතොස’ වෙළඳසැලේ සවිකොට ඇති වායු සමීකරණ පද්ධති සියල්ලම දීර්ඝ කාලයක සිට අක්‍රිය වී තිබීම හේතුවෙන් එම ආයතනයට පැමිණෙන පාරිභෝගික ජනතාව සහ එහි සේවක මණ්ඩලය දැඩි අපහසුතාවයට පත්ව සිටිති. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලට ලබාගැනීම සඳහා දිනපතා විශාල පිරිසක් පැමිණෙන මෙම වෙළඳසැලේ වායු සමීකරණ පද්ධති හයක් (6) සවිකොට තිබුණ ද, මේ වන විට ඒවායේ කිසිදු ක්‍රියාකාරීත්වයක් නොමැති බව වාර්තා වේ.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වෙළඳසැල තුළ පවතින දැඩි රස්නය පාලනය කිරීම සඳහා විකල්ප ලෙස විදුලි පංකා (Fans) කිසිවක් හෝ සවිකිරීමට බලධාරීන් මෙතෙක් පියවර ගෙන නොමැති බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති. මේ හේතුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන ජනතාව මෙන්ම දවස පුරා සේවයේ නිරත කාර්ය මණ්ඩලය ද දැඩි පීඩාවකට පත්ව සිටින අතර, අදාළ වායු සමීකරණ පද්ධති කඩිනමින් අලුත්වැඩියා කර දෙන ලෙස හෝ විදුලි පංකා සවිකර සහනයක් සලසන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.














