රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ මරණයට හේතුව දකුණු ඇමරිකානු ‘ඩාර්ට් ගෙම්බා’ සතු මාරාන්තික විෂ වර්ගයක් වන ‘එපිබැටිඩින්’ (Epibatidine) ශරීරගත වීම බව බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය ඇතුළු යුරෝපීය ජාතීන් කිහිපයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කර තිබේ. රසායනික අවියක් ලෙස වර්ගීකරණය කර ඇති මෙම ස්නායු විෂ ද්‍රව්‍යය මෝෆීන්වලට වඩා 200 ගුණයකින් ප්‍රබල වන අතර, එය රුසියාවේ ස්වභාවිකව දක්නට නොලැබෙන බව විමර්ශකයෝ පෙන්වා දෙති.
එක්සත් රාජධානිය, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය සහ නෙදර්ලන්තය එක්ව සිදුකළ විද්‍යාත්මක විශ්ලේෂණයන් මගින් නවාල්නිගේ ශරීර සාම්පල තුළ මෙම විෂ පැවති බව නිශ්චිතවම තහවුරු කර ඇත. ආක්ටික් දණ්ඩන ජනපදයක සිරගතව සිටියදී මීට වසර දෙකකට පෙර සිදු වූ මෙම ඝාතනය ව්ලැඩිමීර් පුටින්ගේ රජය විසින් සිදුකළ ම්ලේච්ඡ ක්‍රියාවක් බවට බටහිර රටවල් චෝදනා කරයි. අංශභාගය සහ ස්නායු පද්ධතිය අක්‍රිය කරන මෙම මාරාන්තික ගෙම්බා විෂ නවාල්නි වෙත ලබා දුන් ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, මෙය රුසියානු රාජ්‍ය අනුග්‍රහය සහිත ඝාතනයක් බවට විදේශ කාර්යාලය අවධාරණය කර සිටී.














