27 April 2024
#දේශීය

පදිංචි නිවසේ ගහපු කටවුට් එක අයින් කළේ ඇයි ? රෝහිණීගෙන් මැ.කො.පැමිණිල්ලක්

මාතලේ මැතිවරණ කාර්යාලය, රත්තොට පදිංචි නිවසේ තාප්පයෙන් ඇතුළත පාරට පෙනෙන සේ සවිකර තිබූ කටවුට් ඊයේ (23) දහවල් මැතිවරණ නීති උල්ලංඝණය වීමක් යැයි හේතු දක්වමින් ඉවත්කර ඇති අතර එම ක්‍රියාව කිසිදු සාධාරණයක් නොමැති බව මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

ඇය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ එම කටවුට් එකේ තමාගේ ඡායාරූපයක්, පක්ෂ නම, ලකුණ හා අංකය පමණක් සඳහන් කර ඇති බවයි.

රෝහිණී කවිරත්න මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කල සම්පුර්ණ පැමිණීල්ල මෙසේ සඳහන් කර තිබේ.

 

අංශ ප්‍රධානී, මැතිවරණ පැමිණිලි අංශය.
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය.

මහත්මාණෙනි,

පදිංචි නිවසේ නීත්‍යානුකුල කටවුට් එක ඉවත් කිරීම සම්බන්ධයෙනි

මාතලේ මැතිවරණ කාර්යාලය, රත්තොට මගේ ගෙදර, තාප්පයෙන් ඇතුළත පාරට පෙනෙන සේ සවිකර තිබූ, කටවුට් එක ඊයේ (23) දහවල් ඉවත්කර ඇත. එහි ඇත්තේ මගේ ඡායාරූපයක්, (සමගි ජනබලවේගය) පක්ෂ නම, (දුරකතනය) ලකුණ හා (4) අංකය පමණී.

මෙම පුවරුව ඉවත් කිරීමට හේතුව කුමක්ද? මෙහි නීත්‍යනුකුල නොවන්නේ කුමක්ද?

මම 1977 සිට ඡන්ද දැක ඇත්තෙමි. ඡන්ද ව්‍යාපාපර සිදුකර ඇත්තෙමි. අපේක්ෂකයාගේ ගෙදර ගහලා තියෙන කොඩිය, කටවුට් එක ගලවන ඡන්දයක් මෙයට පෙර දැක නැත. කිසිදු දවසක එවැන්නක් සිදු කර ද නැත. ප්‍රතිපත්තියක් ලෙසම මා මැතිවරණ නීති උල්ලංඝනය කරන මැතිවරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ ද නැත. මන්ද, රත්තොට, ලග්ගල ප්‍රමුඛ මාතලේ ඡන්දදායකයින්ට මා අමුත්තෙක් නොවන නිසාය.

1965 සිට මගේ අත්තා, අප්පච්චි, කවිරත්න මාමා, සංජීව සහ මම මැතිවරණ කර ඇත්තෙමි. රත්තොට කවිරත්න ගෙදර, කොඩියක්, කටවුට් එකක් නැතිව ඡන්ද කරන්නේ පළමු වතාවටය. දැන් මේ බැනරයේ ඇත්තේ නීති විරෝධී කුමක් ද? යන්න පැහැදිලි කිරීම ඔබගේ වගකීමකි. එසේම, ඒ බව ලිඛිතව අපේකෂකයින් දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාවට නොහැක්කේ ඇයිද? යන්න මම ප්‍රශ්න කරමි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන, මාතලේ අපේක්ෂකයින්ට එක් නීතියකුත්, විපක්ෂයට තව නීතියකුත් පැවතීම ස්වාධීන ලේබලය සහිත කොමිසකට තරම් නොවේ. දඹුල්ල, ගලේවෙල එකම අපේක්ෂකයෙකු ගේ හෝ නිවෙස්වල තබා මහ පාරේ හෝ කටවුට් ඉවත් කර නොමැති බව මාතලේ මිනිසුන් ට පෙනෙන බැවින්, මේ නැතිව යන්නේ මැතිවරණ කොමිසමේ විශ්වසනීයත්වයයි.

විවාහ වූ දා සිට, ඡන්දය ලියාපදිංචි කොට ඇති නිවසේ 1977 සිට අද දක්වා පැවති සෑම ඡන්දයකටම දැමූ බැනරය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබා නොදීම තුළින් මැතිවරණ කොමිසම බලාපොරෝත්තු වන්නේ කුමක්ද? රකින්නට හදන මැතිවරණ නීතිය කුමක්ද යන්න නීතිගරුක මැතිවරණ ව්‍යාපාරයක් සිදු කරන අපේක්ෂකයෙකු ලෙස දැනගැනීමට කැමැත්තෙමි.

මැතිවරණ කොමිසම හොදින්ම දන්නා පරිදි, මම ප්‍රතිපත්තියක් ලෙස මාතලේ සමහර අපේක්ෂකයින් මෙන් එළිපිට තබා, හොර රහසේ වත් අරක්කු බෙදන්නේ නැත. ඒ සදහා තැබෑරුම් ද නැත. හාල් මෝල් නොමැති බැවින්, කි.ග්. 50 හාල් මිටි බෙදන්නේ ද නැත. ටකරන්, වතුර බේසම්, ආහාර මළු බෙදන්නේ ද නැත. මා හට පැය 24 ක ගුවන් කාලයක් සහිත ගුවන්විදුලි නාලිකාවක් ද නැත. අද දින දඹුල්ල, මාතලේ හා නාවුල සිදු කළ අයුරින් වාහන 8, 10 සහ 6 බැගින් ස්ටිකර් කළ වාහන පෙළපාලි පවත්වන්නේ ද නැත. මාගේ වාහනයේ අද දක්වාම ස්ටිකරයක් හෝ ප්‍රදර්ශනය කළේ ද නැත. මාගේ මනාප ලකුණ සහිත මාතලේ දිස්ත්‍රික්කයේ එකම කටවුට් එක ඉවත් කිරීමට විමර්ශන නිලධාරීන් දක්වන කාර්යක්ෂමතාව, ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ නිල බලය හේතුවෙන් මතු වූ, පක්ෂග්‍රාහීත්වය පිළිබද පණිවුඩයක් බව මාතලේ පුරවැසියන් දකිනා බව පමණක් ප්‍රකාශ කරමි.

මැතිවරණ කොමිසම, අපේක්ෂකයින්ට සම තරඟ බිමක් නිර්මාණ කළ යුත්තේ රූපවාහිනී, ගුවන්විදුලි නාලිකාවල සම්මුඛ සාකච්ඡාවල නොව මාතලේ මහපොළොවේ ය.

අපේක්ෂක නම (රෝහිණී), පක්ෂ සලකුණ (දුරකතනය), මනාප අංකය (4) , අපේක්ෂක රූපය (මේ සමග අමුණා ඇත) බැනරයක් මා පදිංචි නිවසේ ප්‍රදර්ශනය කළ නොහැකි නම්, මැතිවරණ ප්‍රචාරය සිදු කළ හැකි නීත්‍යානුකුල ක්‍රමය මා වෙත දැනුම් දෙන්නේ නම් අතිශයින් ම කෘතඥ වෙමි. එම නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබද නිල නිවේදනය කුමක්දැයි දකිණු රිසි වෙමි.

වචනයෙන් නොව ක්‍රියාවෙන් මාතලේ අපේක්ෂකයින්ට තම තරඟබිමක් නිර්මාණය කිරීමට මැතිවරණ කොමිසමට ශක්තිය ද, ධෛර්යය ද ලැබේවා යැයි පතමි.

ස්තුතියි,

රෝහිණී කවිරත්න (සමගි ජනබලවේගය)
මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි
0773859609

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *