ශාසනයේ උන්නතිය වෙනුවෙන් දරුවන් පැවිදි බිමට පූජා කළ, එහෙත් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ නිවාස නොමැතිව පසුවන මව්පියන් වෙනුවෙන් රජය ආරම්භ කිරීමට නියමිත ‘යතිවර මාපිය නිවහන’ වැඩසටහන මහා සංඝරත්නයේ ඉහළ ඇගයීමට ලක්ව තිබේ. බුද්ධශාසන අමාත්‍යාංශය සහ රජය එක්ව ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා වෙසෙන නිවාස නොමැති භික්ෂු මව්පියන් විශාල පිරිසකට සහනයක් සැලසෙනු ඇතැයි උන්වහන්සේලා පෙන්වා දෙති.
මේ පිළිබඳව අදහස් දක්වමින් බදුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නෙළුවේ සුමේධ හිමිපාණන් වහන්සේ සඳහන් කළේ, මෙය ශාසනය ආරක්ෂා කරන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගත් ඉතා වැදගත් තීරණයක් බවයි. ඕනෑම යහපත් ක්‍රියාවක් අගය කළ යුතු බවත්, මෙම වැඩසටහන හරහා භික්ෂූන් වහන්සේලාට සිය ශාසනික මෙහෙවර වඩාත් සැනසිලිදායකව ඉටු කිරීමට අවස්ථාව ලැබෙන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
බදුල්ල ශික්ෂණ රෝහලේ ගිලන් සේවා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිතල්ඇල්ලේ පේමානන්ද හිමිපාණන් වහන්සේ ද මෙම වැඩසටහන පිළිබඳව සිය ප්‍රසාදය පළ කළහ. වර්තමානය වන විට දරුවන් මහණ කිරීමට මව්පියන් තුළ පවතින උනන්දුව අඩුවෙමින් පවතින කාලයක, මෙවැනි වැඩසටහන් මඟින් මව්පියන් දිරිමත් වන බවත් එය ශාසනයේ අනාගත පැවැත්මට මහඟු ශක්තියක් වන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. බුදු සසුනට දරුවන් දායාද කළ මව්පියන් වෙනුවෙන් රජය දක්වන මෙම කෘතවේදීත්වය ඉතා ප්‍රශංසනීය බව මහා සංඝරත්නය වැඩිදුරටත් සඳහන් කරති.














