ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට උස් හඬින් කතා කළ බවට එල්ල වූ චෝදනාවක් මත යටියන්තොට පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ඩී. කත්‍රිආරච්චි මහතා මාරු කර යවන ලෙස දැනුම් දී තිබේ. සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් ක්‍රිෂාන්ත රත්නායක මහතා විසින් පසුගිය 18 වනදා සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත.
අදාළ මන්ත්‍රීවරයා විසින් යටියන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දුරකථනයෙන් පවසා ඇත්තේ මෙම නිලධාරියා තමාට උස් හඬින් කතා කරන බවත්, තම ඉල්ලීම් සහ නියෝග නොපිළිගන්නා බවත්ය. මෙම චෝදනාව සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් හෝ නිලධාරියාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමකින් තොරව මෙම මාරු කිරීම නිර්දේශ කිරීම විශේෂත්වයකි. මීට සති තුනකට පෙර මන්ත්‍රීවරයාගේ කාර්යාලයට පොලිස් නිලධාරීන් කැඳවා උපදෙස් ලබාදීමේදී ද මෙම නිලධාරියා සහ මන්ත්‍රීවරයා අතර බහින්බස් වීමක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.














