මැදපෙරදිග කලාපයේ ඉරානය සහ ඊශ්‍රායලය අතර යුදමය තත්ත්වය උග්‍රවීමත් සමඟ ලෝක අවධානය යුක්රේනයෙන් බැහැරව ඇති පසුබිමක, යළිත් වරක් ඇමෙරිකාව සමඟ එක්ව සාම සාකච්ඡා ආරම්භ කිරීමට යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි තීරණය කර තිබේ. රුසියානු තෙල් සඳහා පනවා තිබූ සම්බාධක ඇමෙරිකාව විසින් ලිහිල් කිරීම සහ යුරෝපා සංගමය ලබා දීමට නියමිත යුරෝ බිලියන 90ක ණය මුදල හංගේරියාව විසින් අවහිර කිරීම හේතුවෙන් යුක්රේනය මේ වන විට දැඩි රාජ්‍යතාන්ත්‍රික සහ මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටියි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු තෙල් සම්බාධක ලිහිල් කිරීම හේතුවෙන් පුටින්ගේ යුද අයවැය ශක්තිමත් වී ඇති බව සෙලෙන්ස්කි පෙන්වා දෙයි. යුරෝපා සංගමයේ 20 වන සම්බාධක පැකේජය ද හංගේරියාව සහ ස්ලෝවැකියාව විසින් අවහිර කර ඇති බැවින්, රුසියාවට එල්ල වූ ආර්ථික පීඩනය අඩුවීම සාම සාකච්ඡාවලදී රුසියාවේ ස්ථාවරය ශක්තිමත් කිරීමට හේතු වී තිබේ. ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසන්නේ ඇමෙරිකානු මැදිහත්කරුවන් මැදපෙරදිග අර්බුදයෙන් මිදී අවධානය යොමු කළ සැනින් තෙපාර්ශවික සාකච්ඡා ආරම්භ කිරීමට රුසියාව සූදානම් බවයි.
යුරෝපා සංගමයේ ආධාර ප්‍රමාද වීම හමුවේ යුක්රේනය තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට මැදපෙරදිග රටවල් සමඟ නව ආරක්ෂක ගිවිසුම්වලට එළඹෙමින් සිටී. ඉරානය නිෂ්පාදනය කරන ‘Shahed’ වර්ගයේ ඩ්‍රෝන ප්‍රහාර හඳුනා ගැනීමට සහ ඒවා මැඩපැවැත්වීමට යුක්රේනය සතු අත්දැකීම් ලබා දෙන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, සවුදි අරාබිය සහ කුවේට් ඇතුළු රටවල් 11ක් යුක්රේනයෙන් ඉල්ලා ඇත. මේ වන විටත් යුක්රේන ඩ්‍රෝන විශේෂඥයන් 200කට අධික පිරිසක් එම රටවල සේවය කරමින් සිටින අතර, යුක්රේනයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා මැදපෙරදිගට අලෙවි කිරීම හරහා විශාල ආදායමක් උපයා ගැනීමට සෙලෙන්ස්කි රජය අපේක්ෂා කරයි.
















