27 July 2024
#දේශීය

දුෂිතයින්ගේ හතුරෙකු වීම සතුටක් – ජවිපෙ නායක කියයි

නිශ්ශංක සේනාධිපති විසින් පෞද්ගලික නාලිකාවක වැඩසටහනකදී ජනතා විමුක්ති පෙරමුණට අභූත චෝදනා ගණනාවක් එල්ල කළ බව එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (29) එම පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. එහිදී දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ තම පක්ෂය මහජන දේපළ හොරා කාපු, වංචනිකයින්ගේ දුෂිතයින්ගේ සතුරෙකු වීම ගැන, තමාටත් පක්‍ෂයටත් ඒ සම්බන්ධයෙන් සතුටක් තිබෙන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් පල කළේය ” බොහෝ දේශපාලකයින් මෙම දුෂිතයින්ගේ සුරතලූන් බවට පත්වෙලා ඉන්නවා. එම දේශපාලකයින් මෙම දුෂිතයින්ගෙන් වාහන, නිවාස, මැතිවරණ කාලයේදී මුදල් ලබාගන්නවා. එසේ වංචනිකයින්ගේ සුරතලූන් බවට පත්වී සිටින දේශපාලකයින් අතර අප පක්‍ෂය දුෂිතයින්ගේ සතුරෙකු වීම ගැන ආඩම්බරයක් තිබෙනවා. ඒ වගේම එම වංචනිකයින්ගේ දුෂිතයින්ගේ කෝපාවිෂ්ඨ වෛරී සහගත ප‍්‍රකාශ අපි තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැහැ. ධනය, බලය නිසා එම දුෂිතයින් මහර මාධ්‍ය ආයතනවලට ප‍්‍රබලයින් ලෙස පේනවා ඇති. නමුත් අපිට නම් ඔවුන් ගණන් ගත යුතු පුද්ගලයින් නොවේ. අපේ රටේ පාලකයින් වංචනිකයින්ගේ, දුෂිතයින්ගේ ගොදුරු බවට පත්වුණාම අපේ රටත් වංචනිකයින්ගේ පාරාදීසයක් බවට පත්වෙනවා. ටී.වී නාලිකාවල වීරයන් බවට පත්වෙන්නේ සෙල්ලම් පිට්ටනියේ සෙල්ලක්කාරයින් වන්නේ වංචනිකයින්, දුෂිතයින්. මහජන දේපළ හොරා කාපු අයගේ තෝතැන්නක් බවට අපේ රට පත්වෙනවා. එම වංචනිකයින්, දුෂිතයින්ගේ වෛරයට අපේ පක්‍ෂය පාත‍්‍ර වෙන්නේ ඒ නිසයි. මොකද අපේ පක්‍ෂයේ ගිණුම්වල කළු සල්ලි නැහැ. අපේ ගිණුම් හරහා කළු සල්ලි සංසරණය වෙන්නේ නැහැ. සියලූ දේ කුණුවෙලා තියෙන සමාජයක අපේ පක්‍ෂය වැනි දේශපාලන පක්‍ෂ, අපි වැනි දේශපාලකයින් සිටීම ඇතැම් අයට විශ්වාස කරන්න බැහැ. මේ සමාජය කුණු වෙලා තිබෙන නිසාම තමයි අපි වැනි දේශපාලන පක්‍ෂයක් රටකට අවශ්‍ය වෙන්නේ. වෝහාරික විගණන වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය එකක් බවට ඇතැම් අය චෝදනා කරනවා. දුෂිතයින් ආරක්‍ෂා කරන්න විවිධ ප‍්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ගෙන් අපි අහනවා, හොරකම් වෙනකොට ඒ හොරකම වෙන වෙලාවේ ඒක නොදැක්කොත් හොරකමක් වෙන්නේ නැද්ද? අපේ රටේ හොරකම් තිබෙනවා, ඒ මොහොතේ හෙළිදරව් වුණු ඒවා. ඇතැම් හොරකම් පසුකාලීනව හෙළිදරව් වෙලා තිබෙනවා. ඇතැම් ඒවා කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් තිබෙනවා. 2015 සිදුවූ බැඳුම්කර වංචාවෙන් පසුව තමයි මෙම බැඳුම්කර වංචාව පිළිබඳ හෙළිදරව් වෙන්නේ. ඒ පිළිබඳව පරීක්‍ෂණවලදී තමයි කෝප් කමිටුවේ නිර්දේශයක් ලැබෙන්නේ වෝහාරික විගණන පරීක්‍ෂණයකට. එම වෝහාරික විගණනයෙන් තමයි එම බැඳුම්කර වංචාව පිළිබඳ සියලූ තොරතුරු හෙළිදරව් වෙලා තිබෙන්නේ. මෙම වෝහාරික විගණනය කළ සමාගම ජාත්‍යන්තරව පිළිගත් සමාගමක්. එම සමාගම මීට පෙරද අපේ රටේ ආයතනවල යම් යම් විගණනයන්ට මැදිහත් වෙලා තිබෙනවා. කවුරු හරි කියනවා නම් කබ්රාල්ගේ ගේ මුල්ලේ හැංගිලා ඉඳලා මේ හොරකම් අල්ලන්න පුළුවන් කියලා ඒ දුෂිතයින් ආරක්‍ෂා කරන්න කරපු ප‍්‍රකාශයක් පමණයි. එම නිසා අපි මාධ්‍යවේදීන්ගෙන් වගේම මේ රටේ අර්ථසාධක අරමුදලේ හිමිකරුවන් වන සියලූ දෙනාගෙන්ම ඉල්ලනවා, මෙම හොරකමට එරෙහිව පාරට බහින්න කියලා. මොකද මෙම මහ බැංකු බැඳුම්කර වංචාවෙන් මහ බැංකුවට සිදුවී තිබෙන පාඩුවෙන් වැඩිම ප‍්‍රමාණයක් සිදුවී තිබනේනේ සේවක අර්ථසාධක අරමුදලටයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *