27 July 2024
#දේශීය

දේශපාලන බේද නොතකා රට වෙනුවෙන් කැපවෙන්න – කථානායක කියයි

මැතිවරණ වලින් පසුව තවදුරටත් සතුරු ආකල්පයෙන් කටයුතු නොකර අපේ යුගයේ ප්‍රශ්ණ අපේ යුගයේම විසඳා නූපන් පරපුරට සමෘධිමත් සංවර්ධිත රටක් උරුමකර දීමට කැපවෙන ලෙස මෙරට සියළුම ජ්‍යෙෂ්ඨ දෙශපාලන නායකයින්ට අවස්ථා ගණනාවක දී ආයාචනා කර ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

කතානායකවරයා මේ බව පැවසුවේ පසුගිය 17 වනදා ගාල්ල නගරයේ ඉදිවන ශ්‍රී ලංකාවේ විශාලතම සම්මන්ත්‍රණ ශාලාව සහිත ගොඩනැගිලි පරිශ්‍රය සඳහා මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

එලෙස කටයුතු කළ හැකිනම් අප යුගයේ මුහුණ දුන් අමිහිරි ප්‍රශ්ණ අනාගත පරපුරට ඉතිරි නොවනු ඇතිබවත් කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කාළගුණ ආපදා හේතුවෙන් විපතට පත්වන රටවල් අතර ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකාවට තවදුරටත් දේශපාලන අර්බුධ සහ අසමඟිකම්වලින් බැට කෑමට නොහැකි බව ද ඊට වඩා ජාතියක් ලෙස මුහුණ දිය යුතු අභියෝග අප හමුවේ ඇතිබව ද හෙතෙම සඳහන් කළේය.

හෙට උපදින පරපුරට සමෘධිමත් දේශයක් තුළ භාරදිය හැකි හොඳම ශිෂ්ඨ සම්පන්න දායාදය ප්‍රජාතන්ත්‍රවාදය බවද නිදහසේ අගය එහි තිබෙන අවස්ථාවට වඩා නොමැතිවිට වැටහෙන බවද කී කතානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි රටවල ජනතාව ගෙවන ජීවිත දෙස බලනවිට ප්‍රජාතන්ත්‍රවාදය මොනතරම් ආශ්වාදනීය හැඟිමක් ද යන්න පසක්වන බව ද සඳහන් කළේය.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ගාලු පුරවරයට ලැබෙන මෙම දායාදය ගාල්ල දිස්ත්‍රික්කයේ අභිමානය සළකුණු කරන සුවිශේෂී සංකේතයක් වනු ඇති බව ද කතානායකවරයා පැවසීය.

ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන, දකුණු පළාත් මහ ඇමති ශාන් විජේලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටි ආරච්චි, බන්දුලාල් බන්ඩාරිගොඩ, මනූෂ නානායක්කාර, පියසේන ගමගේ යන අය මේ සඳහා එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *