27 July 2024
#දේශීය

මරණ දණ්ඩණය ආපසු හැරවීමට කිසිවෙකු උත්සහා නොකළ යුතුයි – ජනපති

පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමුඛ ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවිත බිලිගනිමින් දිනෙන් දින ව්‍යාප්තවන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වමින් ජාතියේ සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සිව් දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීම සඳහා තමා මේ වන විට අත්සන් තබා ඇති අතර ඊට විරුද්ධව කථා කරන සියලු පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සහය වන්නන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පොළොන්නරුව, ලංකාපුර විජිත මහා විද්‍යාලයේ අද (28) පෙරවරුවේ පැවති උත්සවයක දී ය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා අත්සන් තැබුවේ කිසිවෙකු කෙරෙහි වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් නොව මෙම දරුණු සමාජ ව්‍යසනයෙන් ජාතිය සහ මතු පරපුර බේරාගැනීම වෙනුවෙන් බවයි.

එබැවින් එම වැඩපිළිවෙළ ආපසු හැරවීමට කිසිවෙකු උත්සහ නොදැරිය යුතු අතර එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා සමග ද තමා මේ පිළිබඳ ඊයේ රාත්‍රියේ දුරකථන සංවාදයක නිරතවෙමින් කරුණු පැහැදිලි කළ බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති කියා සිටියේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන තමා අද ඊයේ ආරම්භ කළ එකක් නොවන බවයි. මෙම දරුණු සමාජ ව්‍යසනයෙන් ජාතිය ගලවා ගැනීම තමා ආරම්භ කළ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් බවත් එම ගමනේ දී විවිධ බාධා එල්ල වූ අතරම ජනාධිපතිවරයා ලෙස සියලුදෙනාගේ සහයෝගයන් එම වැඩපිළිවෙල අද සාර්ථක අවසානයක් කරා මෙහෙයවමින් සිටින බව ද ජනාධිපතිවරයා කියා සිටියේය

පිබිදෙමු පෙළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ලංකාපුර විජිත මහා විද්‍යාලයේ ඉදිකෙරුණු පන්තිකාමර 15කින් යුත් තෙමහල් ගොඩනැඟිල්ල අද පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් සිසු අයිතියට පැවරිණි. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 30 කි.

විද්‍යාලයේ දරුවන්ගේ ඉල්ලීම පරිදි විද්‍යාලයට අවශ්‍ය උපකරණ ලබා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ද විදුහල්පති ආර්.ඩී. වීරසූරිය මහතා සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *