27 July 2024
#දේශීය

රටක් වැරිදි මඟට යොමු නොවන කරුණු ගැන ජනපති කියයි

රාජ්‍ය පාලකයන් මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් කිසිසේත් රටක් වැරදි මඟට යොමු නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. සෑමවිටම බෞද්ධ දර්ශනය පදනම් කරගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක විය යුතු අතර ලෝකයේ බොහෝ රටවල තිබෙන අහිතකර තත්ත්වයන් සැලකිල්ලට ගත් විට අපේ රට තුළ සෑම ජනකොටසකටම සහ ආගමිකයෙකුටම නිදහසේ ජීවත්වීමට හැකි පරිසරය ගොඩනැඟී තිබෙන්නේ බෞද්ධ දර්ශනයේ එම මානවවාදී මඟපෙන්වීම හේතුවෙන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ හඟුරන්කෙත, මාදන්වල රජමහා විහාරයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවයට අද (18) පස්වරුවේ එක්වෙමිනි.

අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය සඳහාද ජනාධිපතිවරයා එක් විය. අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් පුණ්‍යෝත්සවය පැවැත්වුණු අතර මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වැල්ලගිරියේ සුමංගල නායක ස්වාමින් වහන්සේ සහ දායක සභාව වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූ අතර එම සිහිවටන තිළිණය අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *