හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට සහ අමෙරිකානු හමුදාවන්ට තර්ජනයක් බව පවසමින් ඉරානයේ හමුදා කඳවුරක් ඉලක්ක කරගෙන අමෙරිකානු හමුදාව විසින් ඊයේ රාත්‍රියේ ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරවලට අමතරව තර්ජනයක් එල්ල කළ බව කියන ඉරාන ඩ්‍රෝන යානා කිහිපයක් ද අමෙරිකානු හමුදා විසින් බිම හෙළා ඇති බවයි අමෙරිකානු නිලධාරීන් තහවුරු කරන්නේ. පසුගිය පෙබරවාරි මස අගභාගයේදී ආරම්භ වූ මෙම යුද ගැටුම් මේ වන විට මාස තුනක් පුරා ඇදී යන අතර, දහස් ගණනකගේ ජීවිත අහිමි කරමින් සහ ගෝලීය බලශක්ති මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ නංවමින් පවතින මෙම යුද්ධය අවසන් කිරීම සඳහා සාම සාකච්ඡා පැවැත්වෙන මොහොතක මෙම නවතම ප්‍රහාර එල්ල වීම විශේෂත්වයක්. හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතු ඉරානය සහ ඕමානය ඒකාබද්ධව කළමනාකරණය කරන බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය කළ වාර්තාවක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, අදාළ මුහුදු මාර්ගය සැමවිටම විවෘතව පැවතිය යුතු බව ඔහු අවධාරණය කර තිබෙනවා. බිඳෙනසුලු සටන් විරාමය අමෙරිකාව විසින් උල්ලංඝනය කරන බවට ඉරානය චෝදනා කරන අතරතුර, පසුගිය සඳුදා ද තමන් ආත්මාරක්ෂාව වෙනුවෙන් ඉරානයේ මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන සහ මුහුදු බෝම්බ වැපිරීමට උත්සාහ කළ බෝට්ටු ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය ප්‍රකාශ කර සිටියා.














