ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් යටතේ, 2026 වසර තුළ මෙරට හෙද සේවකයන් 1,000ක් ඊශ්‍රායලයේ නිවෙස්ගත සාත්තු සේවා (Home-based Nursing) රැකියා සඳහා යොමු කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ.
මෙම රැකියා අවස්ථාවන් සඳහා අයදුම් කරන්නන් වයස අවුරුදු 25ත් 45ත් අතර පසුවිය යුතු අතර, අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අය විය යුතුය. මීට අමතරව අයදුම්කරුවන් සපුරා තිබිය යුතු වෘත්තීය සුදුසුකම් පහත පරිදි වේ:
– විදේශ සේවා නියුක්ති කාර්යාංශය හෝ පිළිගත් ආයතනයක හෙද පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම.
– NVQ III සහතිකය සතු වීම හෝ හෙද වෘත්තියේ අවම වශයෙන් මාස 11ක පළපුරුද්දක් තිබීම.
– ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ මනා හැකියාව (කාර්යාංශයේ ඉංග්‍රීසි පාඨමාලාව හැදෑරූවන්ට ද අවස්ථාව හිමිවේ).
තේරී පත්වන අයදුම්කරුවන්ට වසර පහක කාලයක් සඳහා වලංගු වීසා බලපත්‍රයක් හිමිවන අතර, රුපියල් 600,000 ඉක්මවූ ආකර්ෂණීය මාසික වැටුපක් උපයා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. 2026 වසරේ පළමු සති දෙක තුළ පමණක් වෘත්තිකයන් 107 දෙනෙකු දැනටමත් ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇති බව කාර්යාංශය සඳහන් කරයි.
🔴🔴🔴විශේෂ දැනුම්දීමක්
මෙම බඳවා ගැනීම් සම්පූර්ණයෙන්ම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) මගින් පමණි. එබැවින්, වෙනත් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මුදල්, විදේශ ගමන් බලපත්‍ර හෝ ලිපි ලේඛන ලබා දී වංචාවලට හසු නොවන ලෙසත්, මේ සඳහා වෙනත් කිසිදු විකල්ප මාර්ගයක් නොමැති බවත් කාර්යාංශය මහජනතාවට අවධාරණය කර සිටී














