කෑගල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ 28 හැවිරිදි පොලිස් කොස්තාපල් ළහිරු හර්ෂණ ජයලත් මහතා රිය අනතුරකින් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන ලද හදිසි මරණ පරීක්ෂණයේදී ඔහුගේ පියා වන පත්මසිරි ජයලත් මහතා සංවේදී සාක්ෂියක් ලබා දී තිබේ. ඉකුත් 31 වැනිදා අලුයම සිය පියාගේ යතුරුපැදියෙන් සේවයට වාර්තා කිරීම සඳහා යමින් සිටියදී, කෑගල්ල මීපිටිය ප්‍රදේශයේදී කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ මට්ටක්කුලිය ඩිපෝවට අයත් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරත් සමඟ හිස්වැසුම ගැලවී විසිවීම නිසා හිසට සිදු වූ බරපතළ හානි හේතුවෙන් කොස්තාපල්වරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය කොස්තාපල්වරයා මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු පසුගිය ජනවාරි මාසයේදී කෑගල්ල මූලස්ථාන පොලිසියට මාරුවී පැමිණ තිබුණේ සිය වෘත්තීය අනාගතය පිළිබඳ විශාල බලාපොරොත්තු සහිතවය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය රිය අනතුරක් නිසා මොළයට සිදුවූ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බවට තීන්දු කෙරිණි. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බස් රථ රියදුරා ඇප මත මුදා හැර ඇති අතර නඩුව හෙට (03) නැවත කැඳවීමට නියමිතය. ළහිරු හර්ෂණ ජයලත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) සවස උතුවන්කන්ද පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.














