අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (27) ප්‍රකාශ කළේ කියුබාව ඉතා ඉක්මනින් අසාර්ථක රාජ්‍යයක් බවට පත්වනු ඇති බවයි. කියුබාවේ ප්‍රධානතම මූල්‍ය සහ තෙල් සැපයුම්කරු වූ වෙනිසියුලාවෙන් දැනට කියුබාවට කිසිදු ආධාරයක් නොලැබෙන බැවින් එම රට දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
පසුගියදා ට්‍රම්ප්ගේ නියෝගය මත අමෙරිකානු හමුදාව විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අත්අඩංගුවට ගැනීමෙන් පසුව, අමෙරිකානු ජනාධිපතිවරයා කියුබානු නායකත්වයට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින පසුබිමක මෙම ප්‍රකාශය සිදු කර ඇත.
වෙනිසියුලාවේ හිටපු උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් දැනට අමෙරිකානු අධීක්ෂණය යටතේ එරට අන්තර්වාර පාලනය මෙහෙයවන අතර, කියුබාවට ලැබෙන තෙල් සහ මුදල් නැවැත්වීමට ට්‍රම්ප් පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, මදුරෝ අත්අඩංගුවට ගත් අයුරු ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසන අතර, මානව හිමිකම් විශේෂඥයන් පෙන්වා දෙන්නේ අමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය වෙනිසියුලානු තෙල් සම්පත සූරාකෑමේ අධිරාජ්‍යවාදී ප්‍රවේශයක් බවයි.
මේ අතර, අමෙරිකාව සමඟ එකඟතාවකට පැමිණෙන ලෙස ට්‍රම්ප් කළ යෝජනාව කියුබානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එවැනි බලපෑම් කිරීමට අමෙරිකාවට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.














