කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්, මහ නගරසභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන ඔවුන්ව අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නිතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න අද (06) මේ බව තහවුරු කළාය.
13 වැනි සියවසේ දී ඉදිකළ බව සඳහන් කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
එම ගොඩනැගිල්ල 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක් වන අතර ජූලි 14 වැනි දා රාත්‍රියේ එහි කොටසක් කුරුණෑගල මහ නගර සභාව විසින් ඩෝසර් කර කඩා දමා තිබුණි.
මේ අතර විනාශ කර ඇති කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල හා සම්බන්ධ සියලුම ලිපිලේඛන අධිකරණයට බාර දෙන ලෙසත් කුරුණෑගල නගරාධිපතිවරයාට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.
මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා, කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇත.
එසේම කුරුණෑගල නගර සංවර්ධන කමිටු රැස්වීම්වලට අදාළ ලිපිගොනු සහ කමිටු රැස්වීම් සටහන් අධිකරණය වෙත ලබාදෙන්නැයි කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට නියෝගයක් ලබා දී තිබේ.