බිත්තරයක තොග මිල ඊයේ (01දා) රුපියල් 34ත් රුපියල් 35ත් අතර මිලක් ගෙන තිබූ අතර, මේ අනුව සිල්ලර මිල රුපියල් 40 දක්වා ඉහළ ගොස් තිබුණි.
පසුගිය සතියේදී කුඩා ප්‍රමාණයේ බිත්තරයක තොග මිල රුපියල් 20 දක්වා පහත වැටී තිබූ අතර, මේ අනුව සිල්ලර මිල රුපියල් 28ත් 30ත් අතර මිලක පැවතිණි.
ඉල්ලුමට සරිලන ලෙස බිත්තර තොග නොලැබීම නිසා මේ වන විට බිත්තර මිල ඉහළ ගොස් තිබෙන බවද බිත්තර තොග වෙළඳුන් සඳහන් කරති.
පසුගිය සතියේදී දෛනික බිත්තර ඉල්ලුම බිත්තර ලක්ෂ අසූවක පමණ මට්ටමේ පැවැති බවත්, එම කාලය තුළදී දෛනිකව බිත්තර ලක්ෂ අසූපහකට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳ පොළට ලැබුණු බවට ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
එහෙත් මේ වන විට දෛනික බිත්තර සැපයුම් ලක්ෂ හැත්තෑවක් මට්ටමට පහත වැටී තිබෙන බවත්, මේ නිසා ඉල්ලුමට සරිලන ලෙස සැපයුම් නොමැති වීම නිසා බිත්තර මිල ඉහළ ගොස් තිබෙන බවද සඳහන් කරති.
බිත්තර මිල පහළ යාමට සාපේක්ෂව පසුගිය දිනවල කුකුල් මස් කිලෝවක (දෛනික කුකුල් මස්) මිල රුපියල් දහසක් දක්වා අඩු වී තිබූ අතර, බිත්තර මිල ඉහළ යාමට සාපේක්ෂව ඉදිරියේදී කුකුල් මස් මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.