–
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර සියලු පක්ෂ තමන් සමග සිටින බවත්, හවුල් ආණ්ඩු අවුල්සහගත ආණ්ඩු බවත්, රටේ ආර්ථිකය කඩාවැටුණේ මහ බැංකුවේ වරදින් බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක කාන්තා හමුවකට සහභාගි වෙමින් පැවැසීය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වූ එම ජන හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා පැවැසූවේ, “අපේ වැරදි නිවැරදි කරගෙන, තවත් එක් වතාවක් අපි ගැන විශ්වාසය තියලා, සජිත් ප්‍රේමදාස ජනාධිපති බවට පත් කරලා, ජනතාවට ලබා දෙන්න නොහැකි වුණ පොරොන්දු ලබාදෙන්න අවස්ථාවක් සලසා දෙන්න” යනුවෙනි.
“ඔබතුමාලට අහන්න පුළුවන් වසර 05 ක් බලයේ ඉදලා ඇයි තවත් වසර 5 ක් ඉල්ලන්නේ කියලා. එදා 2015 දී අපට ලැබුණේ හවුල් ආණ්ඩුවක්. ඒ තුළින් අපට අවශ්‍ය ආකාරයට වැඩකටයුතු කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි වමට යද්දි ඔවුන් දකුණට ගියා. අපි දකුණට යද්දි ඔවුන් වමට ගියා. විශාල ප්‍රශ්න ඇති වුණා. ඒකයි අපි නව ආණ්ඩුවක් ස්ථාපිත කරන්න හදන්නේ.
මම හිතන විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර මේ වනවිට රටේ සියලුම පක්ෂ අද අපි සමග සිටිනවා. ඒ ප්රජාතන්ත්රවාදි අයිතිය ආරක්ෂා කරගෙන, කාන්තාවට ලැබිය යුතු රැකවරණය සහ සමතැන රැකගෙන අපි ඉදිරියට ගමන් කරමු. ඒ වෙනුවෙන් ඔබ නැවතත් අප කෙරෙහි විශ්වාසය තබන්න කියලා මම ඉල්ලා සිටිනවා. රට හදන්න අපි භාර ගන්නවා. හදලා තමයි අපි මේ ගමන නවත්වන්නේ. ඔක්තෝබර් මාසේ 30 දා ඉදිරිපත් කරන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් අපි ඔබ වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වෙන වැඩ කොටස ඔබට දැනගන්නට ලැබේවි. අපේක්ෂකයන් 35ක් ඉදිරිපත් වුණාට, අවසානයේ තරගයක් තිබෙන්නේ පක්ෂ දෙකක් අතර පමණයි. ඒ තුළින් පවුල්වාදය ආරක්ෂා කරලා එක පවුලකට බලය ලබාදෙනවාද එහෙම නැත්නම් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරලා ඔබ සැම දෙනා අතට බලය ලබාගන්නවාද කියලා ඔබ තීරණය කළ යුතුයි.
අපේ ආර්ථිකයේ ඇතිවූ කඩාවැටීමට වගකිවයුත්තේ මහ බැංකුවයි. ව්‍යවසායෙකුට ව්‍යාපාරයක් ආරම්භ කරගන්න ලක්ෂ 10 ක ණයක් වුවමනා වුණොත්, ඔහු බැංකුවට ගිහින් ඒ වෙනුවෙන් ලක්ෂ 20 ක ඇපයක් තියන්න ඕන. මෙන්න මේ වගේ ප්‍රශ්න තිබෙන නිසා අප එදා මහ බැංකුවට නිර්දේශ කළේ 5%, 6% පොළියට ගෙනගියේ නැතිනම්. අපි වගේ පොඩි රටකට ලෝකය සමග තරග කරන්න බැහැ කියලා. අනිත් එක තමයි කලුකඩ ණය ලබාගැනීම. මේවා 50% වගේ පොළියට අරන් තිබෙන්නේ. මේ දේ අලුත් ආණ්ඩුව තුළින් නිවැරදි කරන්නම්. එතෙක් සජිත් ප්‍රේමදාස මහතා කියලා තිබෙනවා, කලුකඩ ව්‍යාපාර තුළින් ලබාගත් ඒ මූල්‍ය ණය සම්පූර්ණයෙන් කපා හරිනවා කියලා “යැයි අමාත්‍යවරයා පැවසීය.