27 April 2024
#දේශීය

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ගැන පැෆ්රල් නීතිමඟට

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා අවම සදාචාරාත්මක රීතීන් පවා නොතකා කටයුතු කරමින් සිටින බව පැෆ්රල් සංවිධානය පවසයි. 2019 ජනාධිපතිවරණයේ පූර්ව ප‍්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍යය බලය සහ දේපළ යොදාගැනීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරමින් පැෆ්රල් සංවිධානය කියා සිටියේ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කල පසුත් නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුවත් පවතින නෛතික තත්ත්වයන් හා කොමිෂන් සභාවේ නියෝග නොසලකා හරිමින් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවස්ථා ගනනාවකදී පත්වීම් ලබාදීම්, කඩිනමින් සමෘර්ධි වැඩසටහන් පවත්වා නව සමෘර්ධිලාභීන් රැසකට සමෘද්ධි සහනාධාරය ලබා දීම, මෙන්ම සමෘද්ධි නිලධාරීන් හට ආපදා ණය දේශපාලන අර්ථයෙන් ලබාදෙන බවයි.

මෙම තත්ත්වය වැළැක්වීමට මැතිවරණ කොමිෂන් සභාව කිහිපවරක් මැදිහත් වූවද මෙම ක්‍රියාකාරීත්වයේ වෙනසක් නොමැති අතර සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවම සදාචාරාත්මක රීතීන් පවා නොතකා කටයුතු කරමින් සිටින බව පැෆ්රල් සංවිධානයේ නිරීක්ෂණයට ලක්ව ඇති බව සඳහන් කරයි.

මෙම තත්ත්වය ඉතාමත් වැරදි පූර්වාදර්ශයක් වන බැවින් මෙම තත්ත්වය අනාගතයේදී වැළැක්වීම සඳහා අධිකරණමය ක‍්‍රියාවලියකට යොමුවීමට පැෆ්රල් සංවිධානය අපේක්ෂා කරන බැවින් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදුකර ඇති පරීක්ෂනයේ තොරතුරු පැෆ්රල් සංවිධානය වෙත ලබාදෙන ලෙස එම ලිපියෙහින් ඉල්ලා ඇත.

 

පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කළ සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.

 

2019 ඔක්තෝබර් 28,

ගරු සභාපති තුමා,
මැතිවරණ කොමිෂන් සභාව,
මැතිවරණ මහලේකම් කාර්යාලය,
රාජගිරිය.

මහත්මයාණෙනි,

2019 ජනාධිපතිවරණයේ පූර්ව ප‍්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍යය බලය සහ දේපළ යොදාගැනීම පිළිබඳවයි

පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් වල අඩු බවක් පෙන්වන බව අපට නිරීක්ෂණය වී ඇත. නමුත් ජනාධිපතිවරණ ජන්ද ව්‍යාපාරයේදී අපේක්ෂකයන් සහ ආධාරකරුවන් රාජ්‍යය දේපළ හා බලය යොදාගැනීම කිසිදු ආකාරයට අඩුවක් වී නොමැති බව නිරීක්ෂණය වනු ලබයි.

මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණ පනතේ විධිවිධාන වලට අනුකූලව මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදන මගින්ද වරින් වර නිකුත් කල චක‍්‍රලේඛන මගින්ද මෙම තත්ත්වය වැළැක්වීමට ඔබ තුමා ප‍්‍රමුඛ කොමිෂන් සභාවේ නිලධාරීන් ගනු ලබන උත්සාහයන් අප බෙහෙවින් අගය කරමු.

කෙසේ නමුත් මෙම තත්ත්වයේ වෙනසක් නොපෙනෙන අතර මෙහි උච්චතම අවස්ථාවක් ලෙසට සමෘර්ධි අධ්‍යක්ෂක ජෙනරාල් වරයාගේ ක‍්‍රියාකලාපය පෙන්වා දිය හැකිය.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කල පසුත් නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුවත් පවතින නෛතික තත්ත්වයන් හා කොමිෂන් සභාවේ නියෝග නොසලකා හරිමින් ඔහු විසින් අවස්ථා ගනනාවකදී පත්වීම් ලබාදීම්, කඩිනමින් සමෘර්ධි වැඩසටහන් පවත්වා නව සමෘර්ධි ලාභීන් රැසකට සමෘර්ධි සහනාධාරය ලබා දීම, මෙන්ම සමෘර්ධි නිලධාරීන් හට ආපදා ණය දේශපාලන අර්ථයෙන් ලබාදෙන ලදී.

මෙම තත්ත්වය වැළැක්වීමට මැතිවරණ කොමිෂන් සභාව කිහිපවරක් මැදිහත් වූවද මෙම කි‍්‍රියාකාරීත්වයේ වෙනසක් නොමැති අතර සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවම සදාචාරාත්මක රීතීන් පවා නොතකා කටයුතු කරමින් සිටින බව අපගේ නිරීක්ෂණයයි.

මෙම තත්ත්වය ඉතාමත් වැරදි පූර්වාදර්ශයක් වන බැවින් මෙම තත්ත්වය අනාගතයේදී වැළැක්වීම සඳහා අධිකරණමය ක‍්‍රියාවලියකට යොමුවීමට අප අපේක්ෂා කරන බැවින් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදුකර ඇති පරීක්ෂනයේ තොරතුරු අපවෙත ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තූතියි.

මෙයට
විශ්වාසී

 

විධායක අධ්‍යක්ෂක
රෝහණ හෙට්ටිආරච්චි

Leave a comment

Your email address will not be published. Required fields are marked *