ජනාධිපතිවරයා විසින් තමන්ව දේශපාලන අභියෝගයක් ලෙස පිළිගැනීම පිළිබඳව තමන් සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරය සඳහා අභිනවයෙන් පත් වූ අතිපූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර නාහිමියන් බැහැදැකීම සඳහා අද උදෑසන කඩුවෙල, හේවාගම අභිනවාරාම විහාරය වෙත ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ප්රශ්නය : ඊයේ ජනාධිපතිවරයා කියනවා මේ අවුරුදු 15 ක් තිස්සේ ඇමතිකම් දරපු සමහරු කිසිම දෙයක් කරපු දෙයක් නැහැ කියලා. කවුරු ගැනද මේ කියන්නේ?
පිළිතුර : අපිව එල්ල කරලා කිව්වා වෙන්න පුළුවන්. අපි ඒ ගැන සතුටුයි. මොකද අපව දේශපාලන අභියෝගයක් හැටියට පිළිගැනීම ගැන. ඇත්ත එතුමා කියපු එක. වෙන ඇමතිවරු රාජපක්ෂ පවුලේ අය වගේ අපි විදේශවල අපේ දේපළ පවත්වාගෙන යාම, රටේ ජාතික ධනය කොල්ල කෑම වගේ වැඩ අපි කරලා නෑ. නමුත් අපි කරපු වැඩ මේ රටේ හැම තැනකම තියෙනවා. පරිසර, විදුලිබල, නාගරික සංවර්ධන අමාත්‍යාංශවල අපි කරපු හැම රාජ්‍ය ආයතනයකම අපි ලාභ උපයලා තියෙනවා. පාඩුවට ගිය ඒවා ලාභ කරලා තියෙනවා. එතුමට මම කියනවා අද විදුලි අර්බුදය ගැන අපෙන් ඉගෙන ගන්න. 2015 අපි ලංකා විදුලිබල මණ්ඩලයේ කෝටි 2000ක් ලාභ කළා. පුළුවන් නම් කරලා පෙන්නන්න. ඊළඟට තෙල් සංස්ථාවේ අපි පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල අඩු කළා රුපියල් කෝටි 6700 කින්. පුළුවන් නම් කරලා පෙන්නන්න. බොරු නඩු පටලවන්නේ නැතිව, කුමන්ත්‍රණ නොමැතිව ඉදිරි මැතිවරණයක දී හැකිනම් ජයගෙන පෙන්වන ලෙස පාඨලී චම්පික රණවක මහතා මෙහිදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. “බොරු නඩු පටලවන්නෙ නැතිව, අපරාධ නිදොස් කොට නිදහස් කරන්නේ නැතිව අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කොට නීත්‍යානුකූලව මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය රැක මැතිවරණ පවත්වා, රාජ්‍ය දේපළ භාවිතා කරන්නේ නැතිව, තමන්ගේ ජනමතය උරගා බලන්න”