26 July 2024
#සංවර්ධන

20%ක වත් මගී ප‍්‍රතිශතයක් ගෙන යන දුම්රිය සේවයක් …-  ඇමති පාඨලි

රටේ අඩුම ගණනේ 20%ක වත් මගී ප‍්‍රතිශතයක් ගෙන යන දුම්රිය සේවයක් ඉදිරි දශකයේදී ඇතිකරන යෝජනාව ඉදිරිපත් කරනවා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නුහුරු නාගරික ප‍්‍රදේශ, සුහුරු නාගරික ප‍්‍රදේශ බවට පත් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් මාළිඟාවත්ත ‘ලක්හිරු සෙවණ’ මහල් නිවාස ව්‍යාපෘතියේ (දෙවන අදියර) විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණු මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඒ.එච්.එම්. ෆවුසි, මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එහිදී අදහස් දැක් වු අමාත්‍යවරයා ” අද ප‍්‍රවාහන අමාත්‍යාශයත් අපිත් එකතු වෙලා මහනුවර කරගෙන ගිය සහසර වැඩපිළිවෙල කාඩ්පතක් නිකුත් කරන ඉලෙක්ට්‍රොනික ක‍්‍රමයට අන්තර්ජාලය පාවිච්චි කරලා බස්රථ පාලනය කරන ක‍්‍රමවේදය අපි ඉදිරි කාලයේදී කොළඹ ආශි‍්‍රතවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විධිමත් ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් පිටකොටුවේ ඉදි කරන්න අපි ලබන වසරේදී කටයුතු කරනවා. ඒ නිසා අපි මේ රටේ ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රය හදා ගත්තේ නැත්නම් රටට ඉදිරි ගමනක් නැහැ. ඇත්තටම මට අවස්ථාවක් තිබෙනවා නම් මේ රටේ ප‍්‍රාග්ධනය කොහාටද වියදම් කළ යුත්තේ කියලා තීරණය කරන්න මම ප‍්‍රමුඛතාවය දෙන්නේ අධිවේගී මාර්ගවලට නෙමෙයි පොදු ප‍්‍රවාහනය දුම්රිය, බස්රිය ශක්තිමත් කරන්නයි. මොකද එය තමයි මේ වගේ ජන ගණත්වයක් තිබෙන රටක ඉදිරිමග තිබෙන්නේ. නමුත් අපි ආස කරන්නේ ගුවන් පාලම්වලට, ගුවනින් යන මාර්ගවලට. ඒවා තුළින් තමයි අද අපි ගෙවා ගන්න බැරි ණය කන්දක හිරවෙලා තිබෙන්නේ. ඒ නිසා අපි දුම්රිය දෙපාර්තමේන්තුවෙනුත් ඉල්ලා සිටිනවා. 1860 බ්‍රිතාන්‍යයන්ගේ කාලේ සිට දුම්රිය දෙපාර්තමේන්තුව නාගරිකව විශාල ඉඩම් ප‍්‍රමාණයක් පවත්වාගෙන ඉන්නවා. ඒ දුම්රිය දෙපාර්තමේන්තුවටත් ශක්තියක් එම ඉඩම් ටික විධිමත් සංවර්ධනයකට ගොඩනගලා පහල තිබෙන ඉඩම පමණක් නෙමෙයි අහසේ තිබෙන ඉඩමටත් වටිනාකමක් ලබාගන්න. ඒ නිසා ඔබත් නවීකරණය වෙලා, මේ රටේ අඩුම ගණනේ 20%ක වත් මගී ප‍්‍රතිශතයක් ගෙන යන දුම්රිය සේවයක් අපි ඉදිරි දශකයේදී ඇතිකර ගමු කියන යෝජනාවත් මෙම අවස්ථාවේදී ඉදිරිපත් කරනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *