දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් මාලාව යටතේ ඊයේ (18) දිනය තුළ පමණක් අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිදු කළ මෙම වැටලීම්වලදී සැකකටයුතු පුද්ගලයින් 549 දෙනෙකු ද ප්‍රශ්න කිරීම් සඳහා භාරයට ගෙන ඇත.
මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් සිදු කළ මෙහෙයුම්වලදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 309 දෙනෙකු ද අත්අඩංගුවට පත්ව තිබේ. මීට අමතරව, විවිධ අධිකරණ මඟින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තු සහිත පුද්ගලයින් 185 දෙනෙකු ද මෙම මෙහෙයුම් අතරතුර කොටු කර ගැනීමට පොලිසිය සමත් වී ඇත.
පොලිස් විශේෂ බලකාය සහ දිවයිනේ සියලුම පොලිස් ස්ථාන ඒකාබද්ධව මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය මෙහි මූලික අරමුණයි. නීතිය සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් මහජනතාවගෙන් ලැබෙන තොරතුරු ද මෙම සාර්ථක මෙහෙයුම් සඳහා විශාල දායකත්වයක් සපයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.














