සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය එළඹෙත්ම ශ්‍රී ලංකාව පුරා සාප්පු සවාරි, තෑගි බෝග හුවමාරුව සහ සංචාරයන් බහුල වන අතර ඒ සමඟම ඩිජිටල් ගෙවීම් ද ඉහළ යයි. මෙම උත්සව කලබලය අවස්ථාවක් කරගනිමින් වංචාකරුවන් ව්‍යාජ වෙළඳ පිටු, පුද්ගල මාරු ආරූඪ කරගත් ගිණුම් සහ සැකකටයුතු ලින්ක් හරහා ජනතාවගේ මුදල් කොල්ලකෑමට මාන බලමින් සිටින බවට වීසා ආයතනය අනතුරු අඟවයි. ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිරන්තරයෙන් අවධාරණය කරන පරිදි ඔබගේ මුදල්වල ආරක්ෂාව රඳා පවතින්නේ තාක්ෂණය මත පමණක් නොව ඔබ අනුගමනය කරන බුද්ධිමත් පුරුදු මතය.
අදහාගත නොහැකි දීමනා පිළිබඳව ඔබ සැමවිටම දෙවරක් සිතිය යුතු අතර කිසියම් භාණ්ඩයක් සඳහා අසාමාන්‍ය ලෙස විශාල වට්ටම් ලබා දෙන්නේ නම් හෝ වහාම මුදල් ගෙවන ලෙස බල කරන්නේ නම් එය වංචාවක් විය හැකි බැවින් සැමවිටම විශ්වාසදායක වෙළඳ ආයතන සමඟ පමණක් ගනුදෙනු කිරීම වැදගත් වේ. වංචාකරුවන්ගේ ප්‍රධානම උපක්‍රමය වන්නේ ඔබව කලබලයට පත් කිරීම වන අතර එම නිසා දීමනාව තව සුළු මොහොතකින් අවසන් වන බවට හෝ ගිණුම අත්හිටුවා ඇති බවට ලැබෙන පණිවිඩවල සත්‍ය අසත්‍යතාවය කලබල නොවී පරීක්ෂා කළ යුතුය. එසේම ඔබගේ මුදල්වල ආරක්ෂාව තහවුරු කරන මුරපද, PIN අංක, OTP කේත හෝ කාඩ්පතේ සම්පූර්ණ විස්තර කිසිදු බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ හරහා විමසන්නේ නැති බව මතක තබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
SMS හෝ සමාජ මාධ්‍ය හරහා ලැබෙන සැකකටයුතු ලින්ක් ක්ලික් කිරීමෙන් වැළකිය යුතු අතර එහි අකුරුවල සුළු හෝ වෙනසක් ඇත්නම් එය ව්‍යාජ එකක් විය හැකි බැවින් දැඩි අවධානයෙන් පසුවිය යුතුය. ඔබගේ බැංකු ගිණුමෙන් සිදුවන සෑම ගනුදෙනුවක් පිළිබඳවම එසැණින් දැනුම් දෙන SMS පණිවිඩ ක්‍රියාත්මක කර තබා ගැනීමෙන් අනවසර ගනුදෙනුවක් සිදුවූ වහාම ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට ඔබට අවස්ථාව ලැබේ. යම් හෙයකින් ඔබ මූල්‍ය වංචාවකට හසු වූ බව දැනේ නම් හෝ සැකයක් පවතී නම් වහාම ඔබේ බැංකුව දැනුවත් කළ යුතු අතර ශ්‍රී ලංකා CERT ආයතනයේ 101 ක්ෂණික ඇමතුම් අංකය හරහා ද අවශ්‍ය සහාය ලබා ගත හැක.














